දළ නිසා දිවි දෙන කැලෑවේ සද්දන්තයෝ
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

දළ නිසා දිවි පුදන කැලෑවේ සද්දන්තයෝ

අප්‍රිකාව යනු සිය ගණනක් ලොකු කුඩා වනසත්ව වර්ග, විශේෂයෙන් අලි ඇතුන්, සිංහයින් වැනි ලෝකයේ සෑම රටක දීම දක්නට නොලැබෙන සතුන් එකම කැලෑවක දී දැකගන්නට හැකි කලාපයක්.

එහෙත් තව කොපමණ කලක් එම වාසනාව මිනිසුනට උදාවේදැයි සැකයක් ඇතිවන්නේ කැලෑව තුළ සත්‍ය වශයෙන්ම සිදුවන්නේ කුමක්දැයි හෙළිවන විටයි.

සෑම දිනකම පාහේ සද්දන්ත ඇතුන් විශාල ප්‍රමාණයක් අප්‍රිකාවේ විවිධ රටවල් තුළ දී මරා දැමෙන්නේ ඇත්දළ ලබා ගැනීම පිණිසයි.

නවතම සංඛ්‍යාලේඛන අනුව මුළු අප්‍රිකාව පුරා දැනට සිටින අලි ඇතුන් සංඛ්‍යාව ලක්ෂ හතරකට වැඩි නොවේ. දැනට මරා දමන වේගයෙන් විනාශ කර ගෙන ගිය හොත් අප ජීවිත කාලය තුලදීම අවසන් හස්තියාත් මේ මිහිතලය හැරයන බවට සැකයක් නොවේ.

Image caption දස දහස් ගණනක් අත් දළ පුළුස්සා විනාශ කර දමනු ලැබුවෙ ඇත්දළ ජාවාරම නවතා ලීමේ එක් පියවරක් ලෙසටයි

වඳ වී යාමේ අනතුරකට මුහුණ දී සිටින අලි ඇතුන් රැක ගැනීමේ ඉදිරි සැලසුම් සාකච්ඡා කෙරෙන සමුළුවකට අප්‍රිකානු රටවල නායකයෝ සහභාගී වෙමින් සිටිති.

කෙන්යාවේ පැවැත්වෙන මේ සමුළුව සමාරම්භ කරමින් අදහස් දැක්වූ කෙන්යාවේ ජනාධිපති උහුරු කෙන්යාටා ජාවාරම්කරුවන්ගේ අනවසර ඇත් දළ වෙළෙඳාම නතර කිරීමට තීරණාත්මක පියවර ගත යුතු බවයි අවධාරණය කළේ.

මේ අතර කොලොම්බියාවේ සහ පේරු රාජ්‍යයේ සර්කස් සංදර්ශන සඳහා යොදා ගත් තිහකට අධික සිංහයන් දකුණු අප්‍රිකාවේ අභය භූමියකට මුදා හැරීම සඳහා ගෙන යමින් සිටිති.

ඇතැම් සිංහයන්ගේ සිරුරු අවයව කපා දමා නියපොතු ඉවත් කරනු ලැබ ඇති අතර ඇතැම් සිංහයන්ගේ දත් කැඩී තිබුණ බවයි ඔවුන් මුදා ගත් 'සත්ව සංරක්ෂණය සඳහා වන ජාත්‍යන්තරය' (Animal Defenders International) නම් සංවිධානය පවසන්නේ.