අපි කරන හොඳ වැඩ ජනතාව අතරට යන්නේ නැහැ - ජනපති

ජනපති මෛත්‍රිපාල සිරිසේන Image copyright Maithripala Sirisena
Image caption හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ විසි තුන් වන ගුණසැමරුමට ජනපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ සහභාගී වූහ

වර්තමාන ආණ්ඩුව විසින් මෙතෙක් රටට කරන ලද මෙහෙවර ජනතාවට හරි හැටි පැහැදිලි කර දීමට නොහැකි වී ඇති ස්වභාවයක් දක්නට ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

එම තත්වය ආණ්ඩුවේ පවතින අඩුපාඩුවක් වශයෙන් තමා දකින බව ජනාධිපතිවරයා කියා සිටියේ හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාසගේ විසි තුන් වන ගුණ සමරුව වෙනුවෙන් කොළඹ පැවති අනුස්මරණ උත්සවය අමතමිනුයි.

'අද අපේ ආණ්ඩුව දෙස බලන විට මම දකින ලොකුම අඩුපාඩුව තමයි මහනායක හාමුදුරුවනේ, අගමැතිතුමනි, අපි හොඳ වැඩ පමණයි කරන්නේ නමුත් ඒ හොඳ වැඩ ටික හරිහැටි ජනතාවට පැහැදිලි කරලා දෙන්නේ නැති එක. ජනතාව දැනුවත් නොකරන එක' ජනාධිපතිවරයා සඳහන් කළේය.

එවැනි තත්වයක් යටතේ දේශපාලන ප්‍රතිවාදීන් ඉන් අයුතු ප්‍රයෝජන ගන්නා බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

'අපෙන් නොකෙරෙන දේවල් කතා කරනවා විරුද්ධවාදීන්. අපෙන් කෙරෙන දේවල් ගැන අපි කතා කරන්නේ නැහැ.මේක අපේ ආණ්ඩුවේ අඩුපාඩුවක්' ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

එම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක් වූයේ 1993 වසරේ පැවති මැයි දින රැළියක් අතරතුරදී.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර