පරිසරය අපට ඔක්සිජන් දෙන්නේ ජාති භේදයකින් තොරවයි
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'පරිසරය අපට ඔක්සිජන් දෙන්නේ ජාති භේදයකින් තොරවයි'

පරිසරය සුරැකීම එක් ජාතියකට හෝ එක් කැලෑවකට පමණක් සීමා නොවිය යුතු බව රුක් රෝපණ ව්‍යාපෘතියක නියැළී සිටින තරුණ ක්‍රියාධරයෙක් පවසයි.

රුක් රෝපණ සතිය වෙනුවෙන් සමාජවාදී තරුණ සංගමය හා බැක් ටු ග්‍රීන් (Back to Green) සංවිධානය විසින් දිවයින පුරා පැල සිටවීමේ ව්‍යාපාරය ඉරිදා ආරම්භ කෙරිණ.

තලවතුගොඩ වැව් බැම්ම අසලින් ආරම්භ කෙරුණු එම ව්‍යාපෘතියට සහභාගී වූ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර කියා සිටියේ ජාතීන් වශයෙන් නොව මිනිසුන් වශයෙන් පරිසරය සුරැකිය යුතු බවයි.

'විල්පත්තුව සුරැකීමේ සටන අපි හිතනවා ප්‍රගතිශීලී සටනක් බවට පත් විය යුතුය කියලා. ඒක එක කැලෑවකට, නැතිනම් මුස්ලිම් කෙනෙක් ඒක කරන අර්ථයෙන් මේ පරිසරය සුරකින්න ඉදිරිපත් වීම අවශ්‍ය නැහැ.' ඔහු පැවසීය.

දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි මැයි 08 සිට 14 දක්වා සතිය තුළ පැල පහළොස් දහසක් සිටවීම ඒ සඳහා සහභාගී වන සංවිධානවල ඉලක්කය වී ඇති බවයි එරංග ගුණසේකර කියා සිටියේ.

'ආණ්ඩු, දේශපාලන පක්ෂ මාරු වුනත් ගස් කැපීම දිගටම සිද්ධ වෙනවා. අපට ඒක නවත්වන්න බැරි වුනත් ගස් සිටවන්න අපට පුළුවන්.කපන එක ගසක් පාසා තවත් ගසක් සිටවන්න අපට පුළුවන්' බැක් ටු ග්‍රීන් සංවිධානයේ එම්කේසීපී ශෂීන් සඳහන් කළේය.

මැයි මස 28 සහ 29 යන දෙදින තුළ රත්නපුර සිට ශ්‍රී පාදය දක්වා වැටී තිබෙන මාර්ගය පවිත්‍ර කිරීමේ වැඩසටහනක් සංවිධානය කොට ඇති බවත් එරංග ගුණසේකර කියා සිටියේය.

ශ්‍රී පාදස්ථාන රක්ෂිතය ඔස්සේ වැටී ඇති මාර්ගය පවිත්‍ර කිරීමේ ව්‍යායාමයේ කොටස් කරුවන් වී ඊට සහභාගී වන ලෙසත් සමාජවාදී තරුණ සංගමය ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ආරාධනා කරයි.

සබැඳි විෂයයන්