තාජුදීන් ඝාතනය: අනුර සේනානායක 'සාක්ෂි වසන් කළා'

හිටපු නියෝජ්‍ය පොලිස්පති රිමාන්ඩ් භාරයට
Image caption වසීම් තාජුදීන් ඝාතනය සම්බන්ධ පරීක්ෂණ යටපත් කිරීමට උත්සාහ කළ බවට විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව චෝදනා එල්ල වී තිබුණු බව ජනමාධ්‍ය වාර්තා කරයි

රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය රිය අනතුරක් සේ සලකා පරීක්ෂණ පවත්වන මෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක පොලිසියට නියෝග කර ඇති බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

එමගින් ඔහු සාක්ෂි වසන් කිරීමට කටයුතු කර ඇති බවද හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය පැවසීය.

මියගිය රග්බි ක්‍රීඩකයාගේ මුදල් පසුම්බිය කිරුපලන ප්‍රදේශයෙන් සොයා ගත් නමුත් ඒ පිළිබඳව පරීක්ෂණ නොපවත්වන මෙන් පොලිසියට බලපෑම් කිරීම සැකකරුට එරෙහිව පොලිසිය එල්ල කළ තවත් චෝදනාවක්.

වසීම් තාජුදීන්ගේ රිය ගිනි ගෙන සුළු වේලාවකින් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සිවිල් ඇඳුමින් සැරසී ඒ අසල ගැවසුන බවට සාක්ෂි ලැබී තිබෙන බවත් පොලසිය අධිකරණයට දැනුම් දුන්නේය.

හදිසි අනතුරක් හේතුවෙන් රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් මරුමුවට පත් වූ බව පසුගිය රජය සමයේ පැවැත්වූ පරීක්ෂණවල නිගමණය වී තිබුණු නමුත් එය මිනීමැරුමක් බව අධිකරණය පසුගියදා තීන්දු කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්