මාලදිවයිනේ හිටපු ජනපතිට බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ

මොහමඩ් නෂීඩ්
Image caption සිරගතව සිටි හිටපු ජනාධිපති මොහමඩ් නෂීඩ්ට රටින් පිටවීමට පසුගිය ජනවාරි මාසයේ අවසර ලැබිණ

මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහමඩ් නෂීඩ්ට බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ ලැබී තිබෙන බව ඔහුගේ කාර්යාලය පවසයි.

ඔහු දේශපාලන අනාථයකු ලෙසින් බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් පිළිගෙන ඇති බවයි හිටපු ජනපතිවරයාගේ කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

ත්‍රස්තවාදී චෝදනා මත වසර 13 ක සිරදඬුවමක් ගෙවමින් සිටි හිටපු ජනපතිවරයාට සෞඛ්‍ය හේතූන් මත රටින් පිටවීමට පසුගිය ජනවාරි මාසයේදී මාලදිවයින් බලධාරීහු අවසර දුන්හ.

ඔහුට විදේශගතවීම සඳහා අවසර ලබාගැනීමේදී ශ්‍රී ලංකා ආණ්ඩුව විශේෂ මැදිහත්වීමක් කළ බවත් විශ්වාස කෙරේ.

මාලදිවයිනේ ප්‍රතිචාරය

මොහමඩ් නෂීඩ්ට එරෙහිව පැවැත්වුණු නඩු විභාගය ජාත්‍යන්තර හෙලා දැකීමට ලක් වූ අතර, ඔහු බන්ධනාගාරගත කිරීම නීති විරෝධී බව 2015 ඔක්තෝබරයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය තීන්දු කළේය.

එහෙත් මාලදිවයින් ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ තීන්දුව පිළිපැදීම ප්‍රතික්ෂේප කළේය.

මොහමඩ් නෂීඩ් දේශපාලන අනාථයකු ලෙසින් පිළිගැනීමේ වාර්තාව පිළිබඳව ප්‍රතිචාරය දක්වන ලන්ඩනයේ පිහිටි මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ ඒ පිළිබඳව සිය බරපතල අවධානය පල වී තිබෙන බවයි.

හිටපු ජනාධිපතිවරයාට විදේශගතවීම පිණිස අවසර දෙනු ලැබුවේ ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව යළි සිය රට පැමිණීමේ කොන්දේසිය මත බව පවසන මහ කොමසාරිස් කාර්යාලය, ඔහු විදේශගතවීමේ අරමුණ නීත්‍යානුකූලව ඔහුට පැනවුණු සිර දඬුවම ගෙවීමෙන් වැලකීම යයි දැන් පැහැදිලිව ප්‍රදර්ශනය වන බවත් නිවේදනයක සඳහන් කරයි.

එහෙත් සියලු විරුද්ධවාදීන් මර්දනය කරමින් දරදඬු පාලනයක් ගෙන යන බවට හිටපු ජනාධිපති මොහමඩ් නෂීඩ්, ජනාධිපති අබ්දුල්ලා යමීන්ට චෝදනා කරයි.