නැගෙනහිර මහ ඇමති හැසිරීම අගමැති අවධානයට

Image caption අගමැතිවරයා හමුදා නිලධාරීන් අමතමින්

නැගෙනහිර පළාතේ මහ ඇමති නෂීඩ් අහමඩ් සහ නාවික හමුදා නිලධාරියකු අතර ඇති වු මතභේදාත්මක හැසිරීම හා ඉන් පසු උද්ගත වූ තත්ත්වය පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහ යුද හමුදා ප්‍රධානීන් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය.

සිද්ධිය පිළිබඳව කැඳවා ඇති වාර්තා ලද පසු ඒවා හදාරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යළි දිවයිනට ලඟා වූ පසු ඔහුත් සමග අදාළ ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමා බලාපොරොත්තු වෙන බවයි අගමැතිවරයා පවසන්නේ.

පාසලක ත්‍යාග බෙදා දීමේ උත්සවයක් අවස්ථාවේ නැගෙනහිර පළාතේ මහ ඇමතිවරයා නාවික හමුදා නිලධාරියකු සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය ඉතාම දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් වෙමින් පවතී.

එම රැස්වීමේ දී අනුගමනය කෙරුණ වැරදි ක්‍රමවේදය නිසා තමා එලෙස හැසිරුණ බවයි මහ ඇමතිවරයා පවසන්නේ.

එම සිද්ධිය මුල් කර ගනිමින් ඔහු සහභාගී වෙන සියලු අවස්ථා වර්ජනය කිරීමට ආරක්ෂක අංශ තීන්දු කර ඇත.