බංග්ලාදේශ් හරක් ජාවාරම්කරුවන්ට තහංචි

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ගවයන්
ඡායාරූප ශීර්ෂ වැකිය,

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ගවයන්

බංග්ලාදේශය සිය රටවැසියන් විසින් ඉන්දියාවෙන් හරකුන් රහසිගතව ගෙන ඒම නතර කර දැමීම සඳහා වැඩ පිළිවෙලක් ආරම්භ කොට ඇත.

දෙරට අතර පොදු දේශ සීමාව ඔස්සේ සැරිසරන සිය රටවැසියන් ඉන්දියාවේ දේශ සීමා ආරක්ෂකයන් විසින් මරා දමනු ලැබීම වැඩි වීමත් සමඟ එවැනි වැඩ පිළිවෙලක් අවශ්‍ය කරන බවයි බංග්ලාදේශ් බලධාරීන් පවසන්නේ.

පසුගිය වසර ඇතුළත දේශ සීමාවේ දී මරා දමා ඇති බංග්ලාදේශ් ජාතිකයන්ගේ සංඛ්‍යාව යටත් පිරිසෙයින් හතළිස් පස් දෙනකුවත් වන බවට ඇස්තමේන්තු කොට ඇත.

දේශ සීමාව ඔස්සේ ගමන් ගන්නා සිය රටවැසියන්ට වෙඩි නොතබන ලෙස බංග්ලාදේශ් ආණ්ඩුව ඉන්දීය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.

ඉන්දීය දේශ සීමාරක්ෂකයෝ
ඡායාරූප ශීර්ෂ වැකිය,

ඉන්දීය දේශ සීමාරක්ෂකයෝ

මේ අතර ඉන්දියාව පවසන්නේ අනවසර ජාවාරම්හි නිරත වෙන බංග්ලාදේශ් ජාතිකයන් විසින් සිය දේශ සීමා ආරක්ෂකයන් ඉලක්ක කර ගනිමින් සිදු කරන පහර දීම් වැඩි වී ඇති බවයි.

බංග්ලාදේශයේ ගවමස් වලින් 40% කට අධික ප්‍රමාණයක් ඉන්දියාවෙන් අනවසරයෙන් ගෙන එන ලද ඒවා වන බවයි පැවසෙන්නේ.

එම රහසිගත ජාවාරම මෑතදී සීමා කිරීමත් සමඟ පසුගිය මාස දහඅට ඇතුළත බංග්ලාදේශය තුළ ගවමස් මිළ 50% කින් පමණ වැඩි වී ඇත.