නාට්‍ය ශිල්පීන්ගේ විරෝධය සර්ව සාධාරණයි-කේ.බී.හේරත්

Image caption නාට්‍යයක් නොවේ.වේදිකාව මත කලාකරුවන්ගේ විරෝධය

පසුගිය සිකුරාදා (ජූලි 01) පැවැත්වුන රාජ්‍ය නාට්‍ය උළෙලේ දී කලාකරුවන් , නාට්‍ය ශිල්පීන් විසින් ප්‍රදර්ශනය කරන ලද විරෝධය හුදෙක් රාජ්‍ය නාට්‍ය උළෙල පැවැත්වුන ආකාරයට පමණක් සීමා නොවන අතර එය කලාව සහ සංස්කෘතිය වෙනුවෙන් යහපාලන ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු නොකිරීම සම්බන්ධයෙන් එල්ල කරන ලද විරෝධයක් වන බව නාට්‍ය අනුමණ්ඩලයේ සභාපති ප්‍රවීණ නාට්‍ය ශිල්පී කේ.බී. හේරත් පවසයි.

බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ කලාගාරයේ පැවැත්වුන මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේ ත්‍යාග සහ සහතික පත් බෙදා දීම සිදු වෙමින් පවතිද්දී කළු පටි බැඳගත් කලාකරුවන් පිරිසක් විරෝධතා පාඨ ලියැවුන පුවරු රැගෙන වේදිකාව මත ගමන් ගනිමින් ඒවා ප්‍රදර්ශනය කරනු ලැබීම විශාල සමාජ කතිකාවකට හේතු වී ඇත.

එම සිදු වීම සම්බන්ධයෙන් විමසීමක් කළ විට නාට්‍ය අනුමණ්ඩලයේ සභාපති ප්‍රවීණ නාට්‍ය ශිල්පී කේ.බී. හේරත් කියා සිටියේ අධ්‍යාපන සහ සංස්කෘතික දෙපාර්තමේන්තු වල නිලධාරීන්ගේ අත්තනෝමතික කටයුතු හේතුවෙන් රාජ්‍ය නාට්‍ය උළෙල දිළිඳු මට්ටමකට වැටී දැන් එය 'පාසල් නාට්‍ය උළෙලක' තත්වයට පත් වී ඇති බවයි.

නාට්‍ය අනුමණ්ඩලය හැටියට තමන් මේ තත්වය පිළිබඳව බලධාරීන් දැනුවත් කළත් බොහෝ නිලධාරීන් කුමක් හෝ නීතියක් පාවිච්චි කරමින් නාට්‍ය උළෙල සිදු නොකර සිටින තැනකට කටයුතු කරන බවයි සභාපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ.

පවතින තත්වය යටතේ නාට්‍ය අනුමණ්ඩලය හෝ කලා මණ්ඩලය වශයෙන් ඉදිරියටත් කටයුතු කිරීම අතින් ද ප්‍රශ්නයක් මතු වන බවයි, නාට්‍ය අනුමණ්ඩලයේ සභාපති කේ.බී. හේරත් පවසන්නේ.

ශ්‍රී ලංකාවේ ආදායමෙන් කලාව සඳහා වැය කරනු ලබන්නේ 0.02% පමණ අල්ප මුදලක් වන බවත් ඔහු පෙන්වා දෙයි.

Image caption නාට්‍ය ශිල්පී ජගත් මනුවර්ණ

වේදිකා සහ ටෙලි නාට්‍ය ශ්ල්පී ජගත් මනුවර්ණ මේ පිළිබඳව කළ විමසීමක දී බීබීසියට කියා සිටියේ නාට්‍ය කලාව සිනමාව රූපවාහිනිය වැනි සියලු අංශ වල කලාකරුවන් විසින් ඉදිරිපත් කරනු ලබන ගැටළු කෙරෙහි කලින් ආණ්ඩුව මෙන්ම යහපාලන ආණ්ඩුවත් 'නෑසූ කණින්' සිටින ආකාරයක් දක්නට ලැබෙන බවයි.

නාට්‍ය උළෙල අවප්‍රමාණ කිරීමක්

මෙම යහපාලන ආණ්ඩුව බලයට පත් කිරීමට හවුල් වූ කලාකරුවන් හැටියට කලාවට මෙන්ම සාමාන්‍ය ජනයාට මුහුණ දීමට සිදු වී ඇති ප්‍රශ්න සම්බධයෙන් හඬක් නැංවීමට තමන්ට අයිතියක් ඇති බවයි ජගත් මනුවර්ණ පවසන්නේ.

රාජ්‍ය නාට්‍ය උළෙල සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ එය 'එන්න එන්නම අවප්‍රමාණ වෙමින්' පවතින බවයි.

'මේක එක වරම මෙවර නාට්‍ය උළෙලේ දී සිදු වුන දෙයක් නොවෙයි.ඒ පිරිහීම ක්‍රමයෙන් දකින්න තිබුනා. එසේම අපි අපේ විරෝධය සඳහා නාට්‍ය උළෙල නිමිත්තක් කර ගත්තත් අපි කියා පෑවේ ශ්‍රී ලංකාවේ නාට්‍ය ශිල්පීන්ට තිබෙන සමස්ත ගැටළු සමුදායයි' ජගත් මනුවර්ණ පවසයි.

පවතින ගැටළු නාට්‍ය අනු මණ්ඩලයේ හෝ කලා මණ්ඩලයේ සභාපතිවරුන්ට විසඳිය නොහැකි යයි සඳහන් කළ නාට්‍ය ශිල්පී ජගත් මනුවර්ණ 'ප්‍රශ්නය පවතින්නේ ආණ්ඩුව එම ක්ෂේත්‍ර සම්බන්ධයෙන් දක්වනු ලබන අඩු සැලකිල්ල තුළ' වන බවයි පෙන්වා දෙන්නේ.

මෙවර රාජ්‍ය නාට්‍ය උළෙල සඳහා ආරාධනා කරනු ලැබ සිටි අධ්‍යාපන ඇමතිවරයා වත් ඊට සහභාගී නොවූ බවත් ඔහු කියා සිටියේය.

සබුද්ධික කලාවක්

'රටේ ජනාධිපතිවරයාට ටෙලි නාට්‍ය උත්සව වල පැය දෙක තුන ගත කිරීමට කාලය ඇත්නම් වේදිකා නාට්‍ය කලාව නොතකා හරින්නේ කුමක් නිසාදැයි' තමා ප්‍රශ්න කරන බවත් ජගත් මනුවර්ණ පවසයි.

වේදිකා නාට්‍ය කලාව යනු ජනතා චින්තනය පුබුදු කරන සබුද්ධික කලාවක් වන බව කියා සිටි නාට්‍ය ශිල්පී ජගත් මනුවර්ණ එවැනි කලාවන්ට හැම යුගයකම පාලකයන් බිය පත්වන බවයි අවධාරණය කළේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්