යාපනය සිසු ගැටුම 'ජාතිවාදය සඳහා යොදා නොගත යුතුයි'

යාපනය විශ්වවිද්‍යාලය

ඡායාරූප මූලාශ්‍රය, UOJ

යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යන් දෙපිරිසක් අතර සිදු වූ ගැටුම ජාතිවාදී කණ්ඩායම්වල දේශපාලන න්‍යාය පත්‍රයට ඇතුළත් කර ගැනීමට ඉඩ නොදිය යුතු බව යාපනය විශ්ව විද්‍යාලයේ වාග් විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල් පවසයි.

ඉහත කී ගැටුම සිංහල සහ දෙමළ ජාතිවාදී පාර්ශව විසින් සිය දේශපාලන න්‍යාය පත්‍රය සඳහා යොදා ගැනීමට උත්සාහ දැරීම විශ්ව විද්‍යාල තුළ මෙවැනි තත්වයන් වර්ධනය වීමට හේතු වනු ඇති බවත් ඔහු බීබීසී සංදේශය සමග සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේය.

වාර්ගික පදනම පිළිබඳ අවධානය යොමු කරනවාට වඩා වැදගත් වන්නේ රටේ නීතිය සහ විශ්ව විද්‍යාල නීතිය උල්ලංඝනය කරමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් සොයා පරීක්ෂණ පැවැත්වීම බවයි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල් පෙන්වා දෙන්නේ. (සංදේශයට සවන්දෙන්න)

"කිසිවකුට අසාධාරණයක් සිදු නොවන පරීක්ෂණයක් කියන්නේ පීඩාවට පත් වුනේ කවුද? ඔහුගේ ජාතිය කුමක්ද?, නැතිනම් ප්‍රහාර එල්ල කළේ කවුද? ඔහුගේ ජාතිය කුමක්ද? කියනේ කාරණය නොවෙයි," ඔහු පැවසීය.

'වැරදි ආදර්ශයක්'

මත ගැටුමක් නිරාකරණය කර ගැනීමේදී යාපනය විශ්ව විද්‍යාල සිසුන් කටයුතු කොට ඇති ආකාරය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල් ප්‍රශ්න කරයි.

"මේ සංස්කෘතිය, සංකෘතික අංග කාටද අයිති කියන ප්‍රශ්නය නෙවෙයි මෙතනදී තියෙන්නේ. මේ ගැටුම නිරාකරණය කර ගැනීමේදී විශ්වවිද්‍යාල සිසුන්ටවත් තම පරිසරය තුළ ප්‍රචණ්ඩත්වයෙන් තොරව මෙවැනි ගැටුමක් විසඳා ගත නොහැකි නම්, ඒ ආදර්ශය ඉතාමත් වැරදි ආදර්ශයක්."

"මෙතන තිබෙන බරපතලම කාරණය ප්‍රචණ්ඩත්වය යොදා ගැනීම."

යාපනය විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් හා නවක සිසුන් පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් දෙපාර්ශ්වයේම සිසුන් 17 දෙනෙකු තුවාල ලැබීමත් සමග යාපනය විද්‍යා අංශය දින නියමයක් නොමැතිව වසා දමා තිබේ.

මේ අතර නිවේදනයක් නිකුත් කරන අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය, සිසු ගැටුම පදනම් කරගෙන ජාතිවාදය ඇවිස්සීමට ඇතැමුන් දරන උත්සාහය තරයේ හෙළා දකින බව ප්‍රකාශ කරයි.

ගැටුමේ ජාතිවාදී ප‍්‍රවේශයක් දක්නට ලැබුනත් එයට පිළිතුර ජාතිවාදය නොවන බවත් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අවධාරණය කරයි.