සෞදි විදේශ රැකියා අනතුරේ

සෞදි විදේශ රැකියා අනතුරේ Image copyright Getty Images
Image caption සංරක්ෂිත ඡායාරූපයක්

සෞදි අරාබිය මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හේතුවෙන් එරට කර්මාන්ත ශාලාවල සේවය කරන විදෙස් ශ්‍රමිකයන්ට රැකියා අහිමි වීමේ ප්‍රවණතාවක් ඇති වී තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

අර්බුදයට මුහුණ පා සිටින ආයතන අතර ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සේවය කරන කර්මාන්ත ශාලා දෙකක්ද තිබෙන බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

රියාද්හි පිහිටි ඉන් එක් කර්මාන්ත ශාලාවක සේවය කළ ශ්‍රී ලාංකිකයන් 12 දෙනකුට සේවය අහිමි වී ඇති අතර ඒ සම්බන්ධයෙන් එහි පිහිටි තානාපති කාර්යාලය හරහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ උපුල් දේශප්‍රිය සඳහන් කළේය.

ඉහත කී සමාගම මගින් සේවක වැටුප් නොගෙවීම සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගනිමින් සිටින බවත් එම කටයුතු අවසන් වූ වහාම ඔවුන් ශ්‍රී ලංකාව වෙත ගෙන්වීම සම්බන්ධයෙන් කටයුතු කරන බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

රියාද්හි පිහිටි අනෙක් කර්මාන්ත ශාලාවේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් සිය දෙනකු පමණ එවැනිම ගැටලුවකට මුහුණ පා සිටින බව නිවේදනයේ දැක්වේ.

ඔවුන්ට අවශ්‍ය ආහාර පහසුකම් තානාපති කාර්යාලය හරහා ලබා දීමට පියවර ගෙන ඇති බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.

මෙම තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට කර්මාන්ත ශාලා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යැවීම සම්බන්ධයෙන් නැවත සලකා බැලීමක් සිදු කරන බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ උපුල් දේශප්‍රිය වැඩිදුරටත් පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්