අසාධ්‍ය තත්වයේ පසු වන ඇත් රජෙකුට ප්‍රතිකාර
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'පිහිට පිණක් ගත සවිබල පිරිහුණදා'

උඩවල ජාතික වනෝද්‍යානයේ සීනුක්කු ගල ප්‍රදේශයේ දුර්වල තත්වයේ පසු වූ ඇතෙකුට ලුණුගම්වෙහෙර වනජීවී කාර්යාලයේ නිලධාරීහු ප්‍රතිකාර කළහ.

ඇතාගේ ශරීරය මතුපිට වෙඩි සලකුණු කීපයක් දක්නට ලැබුණු බවත් වලිගයට හානි සිදු වී ඇති බවත් පශු වෛද්‍ය ආනන්ද ධර්මකීර්ති පැවසුවේය.

ඇතාගේ පසු පාදයක් ඉදිමී තිබෙනු දක්නට ලැබුණු අතර ඇතාට ප්‍රතිජීවක එන්නතක් ලබා දීමට වනජීවී නිලධාරීහු කටයුතු කළහ.

අසාධ්‍ය තත්වයේ පසු වන ඇතා වනජීවී නිලධාරීන් විසින් මීට පෙර වනෝද්‍යානය තුළ දැක නැති බවයි රාහුල් සමන්ත හෙට්ටිආරච්චි බීබීසී සිංහල සේවයට වාර්තා කළේ.

'මේ ඇතා මීට කලින් උඩවලව ජාතික උද්‍යානයේ නොදැකපු ඇතෙක්. මේ වගේ දළ තියෙන ඇතෙක් මම දැකල තියෙන්නේ යාල තිලක් කියන ඇතා විතරයි. මේ ඇතා ගොඩක් අසාධ්‍ය තත්වයේ ඉන්නේ' පශු වෛද්‍ය ආනන්ද ධර්මකීර්ති පැවසීය.

පශු වෛද්‍ය ආනන්ද ධර්මකීර්ති විසින් ඇතාට ප්‍රතිකාර ලබා දෙනු ලැබුවේ රාජකාරිවලින් ඈත් වී වැඩවර්ජනයක යෙදී සිටින අතරතුරදී.

''මිනිස්සු ලෙඩ වුනාම කොහාට හරි ගිහින් බෙහෙත් ගන්නවා, නැතිනම් කාට හරි ඒ බව කියනවා. නමුත් මේ සතුන් ලෙඩ උනාම කාටවත් කියන්න බෑ.' ඔහු කියා සිටියේය.

රුහුණේ කඩොල් පරපුර

අසාධ්‍ය තත්වයේ පසු වන ඉහත කී ඇතා රුහුණු ගැටව් නමැති අලි විශේෂයට අයත් වන බවයි පරිසරවේදීන් පවසන්නේ.

ශ්‍රී ලංකාවේ වෙනත් පළාත්වල වෙසෙන අලින්ට වඩා රුහුණු ගැටව් ප්‍රමාණයෙන් කුඩා වේ.

දුටුගැමුණු රජතුමාට අයත්ව සිටි කඩොල් ඇතාද අම්බලන්තොට රැකව ප්‍රදේශයෙන් අල්ලා ගනු ලැබූ රුහුණු ගැටව් විශේෂයට අයත් ඇතෙකු බව ජන සාහිත්‍යයේ සඳහන් වේ.

එම විශේෂයට අයත් ඇතුන් දහයට අඩු සංඛ්‍යාවක් දක්වා පහළ බැස ඇති බව පරිසරවේදීහු පෙන්වා දෙති.

2011 වසරේ ශ්‍රී ලංකා වනජීවී දෙපාර්තමේන්තුව මගින් සිදු කරන ලද සංගණනයට අනුව මෙරට සමස්ත ඇත් ගහනය 120 ක් පමණ වේ.

සබැඳි විෂයයන්