මැලේසියාවේ පහරදීම: 'තමිල්නාඩුවේ පක්ෂයක් සම්බන්ධයි'

  • 2016 සැප්තැම්බර් 6
Image copyright AFP

මැලේසියාවේ ක්වාලාලම්පූර් අගනුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදී ශ්‍රී ලංකා මහකොමසාරිස් ඊබ්‍රහිම් අන්සාර්ට පහරදී තිබෙන්නේ තමිල්නාඩුවේ දේශපාලන පක්ෂයකට සම්බන්ධ පිරිසක් බව අනාවරණය වී ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

අගමැතිවරයා ඒ බව කියා සිටියේ පහරදීම සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා පියවර කවරේදැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

අමාත්‍ය දයා ගමගේ, නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ සහ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ගුවන් තොටුපොළට ඇරලවා ආපසු එන අවස්ථාවේයි, මහකොමසාරිස්වරයා පහරකෑමට ලක්වුණේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද එම සංචාරයට එක් වී සිටියේය.

පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන සිටින බවත්, ඔවුන් සියලු දෙනා මැලේසියාවේ පුරවැසියන් වන දෙමළ ජාතිකයන් බවත් මැලේසියාවේ පොලිස් ප්‍රකාශකයෙක් සඳුදා බීබීසී සංදේශයට පැවසීය.

'නාම් තමිලර්' හෙවත් 'අපි ද්‍රවිඩ' නම් පක්ෂයේ සාමාජිකයන් එම පහරදීමට සම්බන්ධ බව මේ වනවිට අනාවරණය වී තිබෙන බවයි අගමැති රනිල් වික්‍රමසිංහ පවසන්නේ.

සැකකරුවන් කිසිවකුත් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයන් නොවන බව සඳහන් කළ අගමැතිවරයා, ඔවුන් මැලේසියාවේ ප්‍රධාන විරුද්ධ පක්ෂය සමඟ සම්බන්ධතා පවත්වන පිරිසක් බවත් කියා සිටියේය.

හිටපු ජනාධිපතිවරයා මැලේසියාවේ සිටින අතරවාරයේ 'කොටි අන්තවාදීන් සුළු පිරිසක්' දිගින් දිගටම ඔහුට බාධා කළ බවත්, ඔවුන් එහි සෙන්තුල් බෞද්ධ විහාරස්තානයට ගොස් විහාරාධිපති හිමියන්ට පහර දී ඇති බවත් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පැවසීය.

විවාදයේදී අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කියා සිටියේ ශ්‍රී ලංකා දූත පිරිසට නිසි ආරක්ෂාව ලබාදීමට මැලේසියාවේ ආණ්ඩුව අපොහොසත් වී ඇති බවයි.

කෙසේ නමුත් උතුරේ දෙමළ ජනතාව සහ පහරදීමට සම්බන්ධ මැලේසියාවේ අන්තවාදී පිරිස් එකිනෙක සම්බන්ධ කිරීමට දරන උත්සාහය කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් දිසානායක මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව තුල මෙන්ම විදේශයන්හිදීත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව තර කිරීමට පියවර ගන්නා බවත් අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර