'ක්‍රිකට් කණ්ඩායම තුළ තිබුණු බෙදීම් නැති කළා'
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'ක්‍රිකට් කණ්ඩායම තුළ තිබුණු බෙදීම් නැති කළා'

  • 2016 සැප්තැම්බර් 20

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුළ පසුගිය සමයේ තිබූ බෙදීම් නැති කොට එක් නායකයකු යටතේ කණ්ඩායම ශක්තිමත් කිරීමට හැකි වූ බව ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර පවසයි.

අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණය කිරීම නිමිත්තෙන් අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් පවත්වන ලද විශේෂ උත්සවයට එක් වෙමිනි.

ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් සඳහා අතීතයේ මෙන් කිසිදු දේශපාලන බලපෑමක් සිදු නොවන බවද ක්‍රීඩා ඇමතිවරයා සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ 2019 වසරේ ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉලක්කය විය යුතු බවයි.

"ජය මෙන්ම පරාජයෙන්ද, අප අවසාන වශයෙන් ඉගෙන ගත යුත්තේ ජයග්‍රහණ ලබා ගන්නා ආකාරය පිළිබඳවයි. අපේ අවසන් ඉලක්කය ජයග්‍රහණයයි"

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන්ට අමතරව දක්ෂතා දැක්වූ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක්ද උත්සවයට පැමිණ සිටියහ.

"ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම මෙන්ම අනාගත ජාතික ක්‍රිකට් කණ්ඩායමත් අද මෙහි පැමිණ සිටිනවා. අනාගත ජාතික ක්‍රිකට් කණ්ඩායම බිහි වන්නේ මේ තරුණයන්ගෙනුයි. එම අනාගත ක්‍රිකට් ක්‍රීඩකයන්ට කරන දිරිගැන්වීමක් ලෙස ජාතික ක්‍රිකට් කණ්ඩායම මෙන්ම අනාගත ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට සිටින ක්‍රීඩකයින් අද මෙහි කැඳවනු ලැබුවා" අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.