දූෂණ චෝදනා: TISL පරීක්ෂණ වාර්තාව 'තවමත් නෑ'
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා (TISL) ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාට එරෙහිව එල්ල කළ දූෂණ චෝදනා සම්බන්ධ පරීක්ෂණයේ වාර්තාව තවමත් ලබා දී නැති බව අකටයුතුනාදකයෝ පවසති.
ශාන් විජේතුංග, නීතිඥ ජගත් ලියනාරච්චි සහ ආනන්ද ජයසේකර විසින් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාට එරෙහිව දූෂණ චෝදනා ඇතුලත් පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබුවේ මීට මාස ගණනාවකට ඉහතදී.
ඉන් අනතුරුව ආයතනයේ සභාපති නීතිඥ ලක්ෂාන් ඩයස් සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජික නීතිඥ ජේසී වැලිඅමුණ විසින් පැමිණිල්ල පිළිබඳව පවත්වන ලද පරීක්ෂණයේ නිගමණය පසුගිය ජුලි මාසයේ 29 වැනි දින පැමිණිලිකරුවන් වෙත වාචිකව දැනුම් දී තිබේ.
- දූෂණ විරෝධී TISL ආයතනය 'දූෂණ විරෝධීන් දඩයමක'
- වත්කම් බැරකම් දී ඇත්තේ සියයට 'හැටයි'
- පොදු දේපළ අවභාවිතයේ - ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්
- ජනපතිවරණය-මාධ්‍යවේදීන් ආචාර ධර්ම 'කඩ කරලා'
ලිඛිත පැමිණිල්ලක් සම්බන්ධයෙන් වාචික දැනුම්දීමක් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව පැමිණිලිකරුවන් අවධාරණය කළ අවස්ථාවේ පැය විසි හතරක් ඇතුලත සිය නිගමණය ලිඛිතව ලබා දෙන බවට සභාපතිවරයා ප්‍රතිඥා දුන් බවයි ආනන්ද ජයසේකර බීබීසී සංදේශයට කියා සිටියේ.
එම ප්‍රතිඥාව දී මේ වන විට මාස දෙකකට අධික කාලයක් ගත වී ඇතත් තවමත් ලිඛිතව එය ලබා දී නොමැති බැවින් සැබවින්ම පරීක්ෂණයක් පැවැත්වූයේ දැයි සැකයක් මතුවන බවත් ඔහු සඳහන් කළේය.
"වාර්තාවක් ලබා නොදීම නිසා අපිට දැඩි සැකයක් මතුවෙනවා එහෙම වාර්තාවක් නැද්ද කියන එක," ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. (සාකච්ඡාවට සවන්දෙන්න)
මේ පිළිබඳව සංදේශය ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ සභාපති නීතිඥ ලක්ෂාන් ඩයස් ගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ අදාළ ප්රශ්නය සම්බන්ධයෙන් තවදුරටත් කිසිවක් ජනමාධ්‍ය සමඟ සාකච්ඡා කිරීමට තමන් සූදානම් නැති බවයි.
"ඒ සම්බන්ධව අපි යම් ක්‍රියාමාර්ග ගන්නවා. ඒ සම්බන්ධව මම මාධ්‍යයට කතාකරන්න කැමති නෑ තවදුරටත්," ඔහු පැවසීය.
සිය පරීක්ෂණයේ නිගමණය පැමිණිලිකරුවන්ට 'වචනයෙන් වචනය විස්තර කරමින්' වාචිකව දැනුම් දී තිබෙන අතර ලිඛිත වාර්තාවක් ලබාදීම සම්බන්ධයෙන් 'ආයතනයේ ක්‍රමවේදය ප්‍රකාර' තීරණ ගන්නා බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ඉහලම පෙළේ දූෂණ විරෝධී ක්‍රියාධරයන් ගණනාවක්ම ගැටලුව සම්බන්ධයෙන් බරපතල අවධානය පළකරමින් TISL ආයතනය වෙත ලිපි යොමු කර තිබෙන බවත් සංදේශයට වාර්තා වේ.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ සුපිලිපන් ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනා අතරින් කෙනෙකු වන මාධ්‍යවේදී පෝද්දල ජයන්තද ඒ අතර සිටිති.