වතුකරයේ ඇමතිවරුත් වතු කම්කරු සටනට

Image caption වැඩි වැටුප් සහ සහන ඉල්ලා සිටිමින් වතු කම්කරුවෝ කලක් මුළුල්ලේ උද්ඝෝෂණවල නිරතව සිටිති (සංරක්ෂිත ඡායාරූපයක්)

සිය දෛනික වැටුප දිනකට රුපියල් දහස දක්වා වැඩිකරන ලෙස ඉල්ලා වතු කම්කරුවන් ගෙනයන විරෝධතා ව්‍යාපාරයට සහාය පළ කරන බව වතුකරය නියෝජනය කරන රජයේ අමාත්‍යවරුත් පවසති.

තමන්ද එම විරෝධතාවයට එක් වන බවයි, කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරුන් පිරිස සඳහන් කළේ.

සිය දෛනික වැටුප වැඩිකරන මෙන් ඉල්ලා සිටිමින් වතුකරයේ ප්‍රදේශ ගණනාවක විරෝධතා දියත් වෙමින් පවතින අතර, ඒ හේතුවෙන් වතුකරයේ තේ කර්මාන්ත ශාලා රැසක සේවා කටයුතු අඩපණ වී තිබේ.

වතුකරය නියෝජනය කරන රජයේ ප්‍රබලතම අමාත්‍යවරයා වන පලනි දිගම්බරම්, අමාත්‍ය මනෝ ගනේෂන් සහ තවත් රජයේ මන්ත්‍රීවරුන් පිරිසක් සමග මතුව ඇති තත්වය පිළිබඳව අදහස් දැක්වීම පිණිස මාධ්‍ය හමුවක් කැඳවා තිබුනේ මේ වාතාවරණය යටතේයි.

Image caption සිය දෛනික වැටුප දිනකට රුපියල් දහස දක්වා වැඩිකරන ලෙස වතු කම්කරුවෝ ඉල්ලා සිටිති

වතු කම්කරු විරෝධතාවලට සහාය පිණිස බ්‍රහස්පතින්දා තලවකැලේ ප්‍රදේශයේ දැවැන්ත විරෝධතාවයක් පවත්වන බව එහිදී පලනි දිගම්බරම් අමාත්‍යවරයා සඳහන් කළේ, එහි රැස්ව සිටි බොහෝ මාධ්‍යවේදීන් විමතියට පත්කරමින්.

වතු හාම්පුතුන්ගේ සංගමය සමඟ සාකච්ඡා කර පැන නැගී තිබෙන අර්බුදය විසඳන මෙන් තමන් වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා සහ කම්කරු අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බවත් දිගම්බරම් අමාත්‍යවරයා සඳහන් කළේය.

ජනතා විරෝධතාවලට විසඳුමක් ලබා නොදී විරෝධතායන්ට එක්වන්නේ මන්ද යන්න බීබීසී සංදේශය එහිදී අමාත්‍යවරුන්ට මතු කළ ප්‍රශ්නයක්.

එයට පිළිතුරු දෙමින් අමාත්‍ය මනෝ ගනේෂන් සඳහන් කළේ මෙම ගිවිසුම සඳහා පාර්ශවකරුවන් ලෙසින් කටයුතු කරන්නේ වෘත්තීය සමිති සහ හාම්පුතුන්ගේ සංගමය මිස රජය නොවන බැවින් හාම්පුතුන්ගේ සංගමයට බලපෑම් කිරීම පිණිස සිය විරෝධතාවය පවත්වන බවයි.

Image caption දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කළහොත් තේ කර්මාන්ත ශාලා වසා දැමීමට සිදුවනු ඇති බව හාම්පුතුන්ගේ තර්කයයි

දෙපාර්ශවය අතර ගිවිසුම පසුගිය වසරේ මාර්තු මාසයේ අවසන් වුවත් ඉන් අනතුරුව තවමත් එකඟතාවයක් ඇති කර ගැනීමට නොහැකි වී තිබෙන බවත් අමාත්‍ය මනෝ ගනේෂන් පෙන්වා දුන්නේය.

දිනකට රුපියල් හත්සිය තිහ දක්වා වැටුපක් සතියේ දින හතරකට ලබා දිමටත් සෙසු දින වලට නෙලන සෑම තේ දළු කිලෝවකටම රුපියල් තිස්පහ බැගින් ගෙවිමටත් හාම්පුතුන්ගේ සංගමය එකඟ වී තිබෙන බව වාර්තා වේ.

එහෙත් එම යෝජනාවට වෘත්තීය සමිති විරෝධතාවය පළ කරති.

දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කළහොත් තේ කර්මාන්ත ශාලා වසාදැමීමට සිදුවනු ඇති බව හාම්පුතුන්ගේ තර්කයයි.

බීබීසී යෙන්