"යාපන සිසුන්ගේ මරණ සම්බන්ධයෙන් විශේෂ කොමිසමක්"

"යාපන සිසුන්ගේ මරණ සම්බන්ධයෙන් විශේෂ කොමිසමක්"

යාපන විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් විශේෂ කොමිසමක් පත්කිරීමට ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් එකඟ වූ බව ශිෂ්‍ය සංගම් නියෝජිතයෝ පවසති.

යාපන විශ්ව විද්‍යාලයේ නියෝජිතයන් කොළඹදී ඔවුන් දෙදෙනා මුණ ගැසී සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම එකඟත්වයට පැමිණි බව ශිෂ්‍ය සංගම් නියෝජිත කන්දසාමි රජීබන් බීබීසී සංදේශයට පැවසීය.

යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිනි වසන්ති අරසරත්නම් ඇතුළු දහසය දෙනෙකුගෙන් සමන්විත පිරිසක් සාකච්ඡාවට සහභාගි වූහ.

මියගිය සිසුන් දෙදෙනා වෙනුවෙන් එක් පවුලකට රුපියල් මිලියන දහයක් බැගින් වන්දි මුදලක් ලබා දෙන මෙන් විශ්ව විද්‍යාල නියෝජිතයන් ඉල්ලීමක් කර තිබේ.

එම ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා, සතියක් ඇතුලත කොමිසම් වාර්තාව ලැබීමෙන් අනතුරුව එහි නිර්දේශ ප්‍රකාර වන්දි මුදල තීරණය කරන බව සඳහන් කළ බවත් ශිෂ්‍ය සංගම් නියෝජිත කන්දසාමි රජීබන් පැවසීය.

ශිෂ්‍යයන්ගේ මරණ සම්බන්ධ පොලිස් පරීක්ෂණ අපක්ෂපාතීව සහ විනිවිදභාවයෙන් යුතුව සිදුකරන බවට අගමති රනිල් වික්‍රමසිංහ එහිදී ප්‍රතිඥා දී තිබේ.

සාකච්ඡාවට සහභාගි වීමට නියමිතව සිටි විපක්ෂනායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා එයට සහභාගි නොවූ නමුත් ඩීඑම් ස්වාමිනාදන් අමාත්‍යවරයා සාකච්ඡාවට එක් වී සිටි බවත් ශිෂ්‍ය සංගම් නියෝජිතයා පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර