දඩ මුදල්වලින් පමණක් 'රිය අනතුරු වලක්වන්න බෑ'

රියදුරන්ට දඩ මුදල් පැනවීමෙන් පමණක් ශ්‍රී ලංකාවේ රිය අනතුරු වලක්වාගත නොහැකි බව ප්‍රවාහන කටයුතු සම්බන්ධ ජාත්‍යන්තර උපදේශකයෙක් පවසයි.

කෙසේ නමුත් මාර්ග නීති කඩකිරීම සම්බන්ධ දඩ මුදල් ඉතා පහල මට්ටමක පවතින්නේ නම් එය රිය අනතුරු වැඩිවීමට හේතුවක් විය හැකි බවත් මොරටුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමල් කුමාරගේ අවධාරණය කරයි.

මහාචාර්යවරයා ඒ බව සඳහන් කළේ මාර්ග නීති කඩකිරීමේ ප්‍රධාන වැරදි හතක් වෙනුවෙන් රුපියල් 25,000 ස්ථානීය දඩ මුදලක් අය කිරීමට ප්‍රවාහන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති සහ ආණ්ඩුව එකඟවීම පිළිබඳව බීබීසී සංදේශය සමග අදහස් දක්වමිනි.

ඉදිකිරීමේ දුර්වලතා

බීමත්ව රිය පැදවීම, වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම, වලංගු රියදුරු බලපත්‍රයක් නොමැති පුද්ගලයකුට සිය රථය පැදවීමට අවසර දීම, අධික වේගය, වම් පසින් වාහන පසුකර යාම, නොසැලකිලිමත් අයුරින් දුම්රිය හරස් මාර්ග ඔස්සේ රිය පැදවීම සහ රක්ෂණ සහතිකයක් නොමැතිව රිය පැදවීම යන මාර්ග නීති උල්ලංඝනය කිරීම් සඳහා එම දඩ මුදල අය කිරීමට එකඟ වූ බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේය.

Image caption රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවීමේ අවස්ථා 50,000 අධික ප්‍රමාණයක් සහ බීමත්ව රිය පැදවීම සම්බන්ධ වැරදි 49,000 ක් පිළිබඳව ගතව ගිය වසරේ නීතිමය පියවර ගෙන තිබේ

ගතව ගිය වසර තුල රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවීමේ අවස්ථා 50,000 අධික ප්‍රමාණයක් සහ බීමත්ව රිය පැදවීම සම්බන්ධ වැරදි 49,000 ක් පිළිබඳව නීතිමය පියවර ගෙන ඇති බවත් සාකච්ඡාවේදී හෙළි වී තිබේ.

"එක පැත්තකින් දඩ මුදලෙන් බලපෑමක් ඇතිවෙන්න ඕනේ. අනෙක් පැත්තෙන් ඒක අසාධාරණ වෙන්න බෑ," ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමල් කුමාරගේ පැවසීය.

2005 වසරේදී දඩ මුදල් සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහල දැමූ නමුත් අනතුරු අවප්‍රමාණ කිරීමෙහිලා එහි බලපෑම දක්නට ලැබුණේ ඉතාමත්ම සීමිත කාලයකට පමණක් බව පවසන ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශේෂඥවරයා, ශ්‍රී ලංකාවේ රිය අනතුරු අති බහුතරයකට ප්‍රධානම හේතුව මාර්ග පද්ධතියේ ඉදිකිරීමේ දුර්වලතා බවත් සඳහන් කළේය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ පෞද්ගලික බස් සේවාව නිසි නියාමනයකට ලක් නොකිරීම මාර්ග අනතුරු ඉහල යාමට තවත් එක් ප්‍රධාන හේතුවක් බවත් මහාචාර්ය අමල් කුමාරගේ වැඩිදුරටත් පැවසීය.