ISIS: ඇමති ප්‍රකාශය රජය ප්‍රතික්‍ෂේප කරයි
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ISIS: ඇමති ප්‍රකාශය රජය ප්‍රතික්‍ෂේප කරයි

ශ්‍රී ලාංකිකයන් 32 දෙනෙකු ISIS සංවිධානයට බැදුණු බවට හා විදේශ රටවලින් පැමිණෙන ඉස්ලාමීය පූජකයන් සම්බන්ධයෙන් අධිකරණ ඇමතිවරයා කළ ප්‍රකාශය රජය ප්‍රතික්ෂේප කරන බව ආමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

අද (නොවැ. 23) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් රජයේ ප්‍රකාශක ද වන අමාත්‍ය සේනාරත්න පෙන්වා දුන්නේ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ පසුගියදා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය රජයේ මතය නොවන බවය.

එවැනි කිසිදු වාර්තාවක් නොමැති බව ජනාධිපතිවරයා හා ආරක්ෂක මණ්ඩලය තහවුරු කර ඇති බවත් ඒ බව මාධ්‍යයට දැනුම් දෙන ලෙස ජනාධිපතිවරයා තමන්ට පැවසු බවත් අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුස්ලිම් පූජකයන් ගෙන්වීමට අවසර ලබා දෙනු ඇත්තේ බුද්ධි අංශ ඒ සඳහා අනුමැතිය දුන් පසු බව පැවසූ අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ අධිකරණ ඇමතිවරයා මුස්ලිම් පූජකයන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයද නිවැරදි නොවන බවය.

එසේනම් අමාත්‍ය විජේදාස රාජපක්ෂ පැවසුවේ බොරුවක් දැයි බීබීසී කළ විමසීමේදී අමාත්‍යවරයාගේ ප්‍රතිචාරය වූයේ අදාළ ප්‍රකාශය 'බොරුවක් යැයි කියා' මාධ්‍යයට සිරස්තල සැපයීමට තමන් සුදානම් නොවන බවය.