ජනපති මෛත්‍රීගෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට විශේෂ පණිවිඩයක්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජනපති මෛත්‍රීගෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට විශේෂ පණිවිඩයක්

ශ්‍රී ලංකාවට එරෙහිව ඇති යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපත්කර ඇති යෝජනාවලිය 'දුර්වල කිරීම' සඳහා එක්සත් ජනපදයේ සහය ලබාදෙන ලෙස ඉල්ලමින් ඇමරිකා එක්සත් ජනපදයට අලුතින් තේරීපත්වුණු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට විශේෂ පණිවිඩයක් යැවූ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ඊයේ (නොවැ. 26) ගාල්ලේ පැවති මහජන රැළියක් අමතමිනි.

ඇමරිකා එක්සත් ජනපදයේ එකඟත්වය ඇතිව ඉදිරිපත් වී ඇති එම යෝජනාවලිය සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සාකච්ඡා කිරීමට විශේෂ නියෝජිතයන් යවන බවද මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

විශේෂ නියෝජිතයින්

"එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවට ආපු බරපතළ චෝදනාව දුර්වල කරල, ඇමරිකාව සහ ශ්‍රී ලංකාව එකඟත්වයෙන් ඒ ඇතිකරගෙන තිබෙන යෝජනාව මම ඇමරිකාවේ අලුත් ජනාධිපතිතුමාට යොමුකරනවා, මම සාකච්ඡා කරනවා, විශේෂ නියෝජිතයින් අරිනවා, මේ තත්වයෙන් මගේ රට සම්පුර්ණයෙන් නිදහස් කරල අපිට නිදහසේ ඉන්න පුළුවන් සමාජයක් ගොඩනගන්නැයි කියල මම අලුත් ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා." යනුවෙන් ජනාධිපතිවරයා පැවසීය.

ඉන් අනතුරුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාටද එම ඉල්ලීම ඉදිරිපත් කරන බව ඔහු ප්‍රකාශ කළේය.