පළාත් සභා බලතල 'අඩු නොකරන බවට අගමැතිගෙන් සහතිකයක්'

අගමැති රනිල් වික්‍රමසිංහ Image copyright Getty Images
Image caption සංවර්ධන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත මගින් සුපිරි ඇමතිවරයෙකු බිහිකිරීමට සැරසෙන බවට ආණ්ඩුවට චෝදනා එල්ලවී තිබේ

යෝජිත සංවර්ධන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පළාත් සභාවලට පැවරී ඇති බලතල අඩු නොකරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ සහතික වූ බව දකුණු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය, ෂාන් විජයලාල් ද සිල්වා පවසයි.

මහ ඇමතිවරයා ඒ බව සඳහන් කළේ අදාළ පනත් කෙටුම්පත පිළිබඳව අගමැතිවරයා සහ පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය අමතා කතාකරමින්.

සංවර්ධන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත මගින් සුපිරි ඇමතිවරයෙකු බිහිකිරීමට සැරසෙන බවට ආණ්ඩුවට චෝදනා එල්ලවී තිබෙන අතර, එම කෙටුම්පත දැන් පළාත සභාවල අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබේ.

කෙසේ නමුත් අගමැතිවරයා විසින් කැඳවන ලද සාකච්ඡාව සඳහා සහභාගි වී තිබුණේ දකුණ, බස්නාහිර, නැගෙනහිර සහ ඌව පළාත්වල ප්‍රධාන අමාත්‍යවරුන් පමණයි.

උතුර, ඌව සහ උතුරු මැද

උතුර, ඌව සහ උතුරු මැද පළාත් සභා දැනටමත් අදාළ කෙටුම්පත වැඩි ඡන්දයෙන් පරාජය කර තිබෙන අතර, එමගින් පළාත් සභාවල බලතල අඩුවන බවට තර්ක කරමින් එය ප්‍රතික්ෂේප කිරීමට අනෙක් පළාත් සභාද තීරණය කර තිබේ.

Image caption චීනය සමග ඇතිකරගත් එකඟතාවන් අනුව, ඉදිරි වසර කිහිපය තුළ දකුණු පළාතේ කර්මාන්තශාලා 2400ක් බිහිවීමට නියමිත බව අමාත්‍ය මලික් සමරවික්‍රම පවසයි

කෙසේ වෙතත් යෝජිත පනත පළාත් සභාවල බලතල සීමා කරන බවට එල්ල වන විවේචනය ප්‍රතික්ෂේප කළ අගමැතිවරයා, පනතට යෝජනා කරන සංශෝධන ලිඛිතව ලබා දෙන මෙන් මහ ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටි බවත් ෂාන් විජයලාල් ද සිල්වා මහ ඇමතිවරයා පැවසීය.

පළාත් සභා සහ මධ්‍යම ආණ්ඩුව අතර සංවර්ධන කටයුතුවලදී පුළුල් සම්බන්ධීකරණයක් ඇති කර ගැනීම පිළිබඳවත් අගමැතිවරයාගේ අවධානය යොමුවූ බව, සාකච්ඡාවට එක්ව සිටි නැගෙනහිර පළාතේ ප්‍රධාන අමාත්‍ය අහ්මඩ් නසීර් පැවසීය.

සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම් පත මගින් සිදු කිරීමට අපේක්‍ෂිත කාර්යභාරය පිළිබඳව අගමැතිවරයා මහ ඇමතිවරුන්ට කරුණු පැහැදිලි කළ බව, අගමැති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

මෙමගින් අරමුණු කෙරෙනුයේ පළාත් සභා විෂයයන් මධ්‍යම ආණ්ඩුව යටතට ගැනීමක් නොව, ජාතික සංවර්ධනය සඳහා පළාත් සභා ක්‍රියාකාරී ලෙස සහභාගි කරගැනීම පමණක් යයි අගමැතිවරයා මහ ඇමතිවරුන්ට පෙන්වා දුන් බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර