ශ්‍රී ලන්කන් ආයතනයේ 'මාෆියාවක්'

ශ්‍රී ලන්කන් ගුවන් සේවය Image copyright Getty Images
Image caption රාජපක්ෂ පාලනය සැලසුම් කළ පරිදි A 350 ගුවන් යානා හතර මිලදී ගත්තේ නම් ශ්‍රී ලන්කන් ආයතනයට රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදුවීමට ඉඩ තිබුණු බව අමාත්‍යවරයා පවසයි

රාජපක්ෂ පාලනය සමයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම තුළ පැවති 'මාෆියාව' තවමත් ක්‍රියාත්මකවන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් ප්‍රකාශ කරයි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ දින සියයේ වැඩසටහන තුළ නිකුත් කරන ලද වැලිඅමුණ වාර්තාවට අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ව්‍යුහය තුල පවතින ගැටළු කිහිපයක් පෙන්වා දී තිබුණු බවත් කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

"ඒක ඇතුලේ එක්තරා මාෆියාවක් තියෙනව. ඒ මාෆියාව තවත් තියෙනව."

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන බොහොමයක පසුගිය ආණ්ඩුව සමයේ නිර්මාණය කරන ලද 'මාෆියා' කණ්ඩායම තවමත් පවතින නමුත් විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ජාතික ගුවන් සේවයේ මාෆියාවට එරෙහිව කටයුතු කිරීමට නොහැකිවීම පිළිබඳව කණගාටුවන බවත් අමාත්‍ය කබීර් හෂීම් පැවසීය.

රාජපක්ෂ පාලනය සමයේ, එවකට සිටි සභාපති නිශාන්ත වික්‍රමසිංහ සැලසුම් කළ පරිදි A 350 ගුවන් යානා හතර මිලදී ගත්තේ නම් ශ්‍රී ලන්කන් ආයතනයට 'රුපියල් කෝටි ගණනක' පාඩුවක් සිදුවිය හැකිව තිබුණු බවත් අමාත්‍යවරයා අවධාරණය කරයි.

එබැවින් එම කොන්ත්‍රාත්තුව අවලංගු කිරීම හැර තමන්ට විකල්පයක් නොතිබුණු බවත් වැඩිදුරටත් පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර