TISL: 'නීතිවිරෝධී බඳවා ගැනීමක් නෑ'

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා (TISL) ආයතනය Image copyright TISL

විදේශික කාන්තාවක් සිය ආයතනයට නීතිවිරෝධී ලෙසින් බඳවාගෙන ඇතැයි පැතිරයන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා (TISL) ආයතනය පවසයි.

ආයතනයේ සභාපති නීතිඥ ලක්ෂාන් ඩයස් ඒ බව කියා සිටියේ පසුගිය සතියේ එම ආයතනයට පැමිණි ආගමන විගමන නිලධාරීන් එහි සේවයේ යෙදී සිටින විදේශික කාන්තාවක පිළිබඳව කරුණු විමසීම සම්බන්ධයෙන් බීබීසී සංදේශය කළ විමසීමකට පිළිතුරු දෙමිනි.

අදාළ හමුවීම සඳහා ආගමන විගමන නිලධාරීන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා කාර්යාලයට පැමිණි බව සනාථ කළ සභාපතිවරයා, ඉන් අනතුරුව සිකුරාදා සිය කාර්යාලයට පැමිණෙන මෙන් ඇයට දැනුම්දුන් බවත් සංදේශයට පැවසීය.

කෙසේ නමුත් සිය බිරිඳ අයහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බැවින් එදින ආගමන විගමන කාර්යාලයට පැමිණිය නොහැකි බව එම කාන්තාවගේ සැමියා නිලධාරීන්ට දැනුම් දී තිබේ.

කිසිදු ආකාරයකින් සිය ආයතනයට නීතිවිරෝධී ලෙසින් කිසිවකුත් බඳවා නොගන්නා බව අවධාරණය කරන නීතිඥ ලක්ෂාන් ඩයස්, අදාළ කාන්තාව නීතිවිරෝධී ලෙසින් සිය ආයතනයේ සේවය කරන්නේය යන්න කිසියම් පිරිසක් විසින් කරන අසත්‍ය ප්‍රචාරයක් බවටත් චෝදනා කරයි.

ඒ සම්බන්ධ පරීක්ෂණය තවදුරටත් පැවැත්වෙන්නේද, නැද්ද යන්න තමන් නොදන්නා බවත් සභාපතිවරයා සඳහන් කළේය.

මේ පිළිබඳව විමසීම පිණිස ආගමන විගමන පාලකවරයා ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර