බැඳුම්කර වාර්තාව: 'මුදල් ඇමති වැරදියි'

අමාත්‍ය කිරිඇල්ල, විගණකාධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා

පසුගිය වසර අට ඇතුළත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද බැඳුම්කර සම්බන්ධයෙන් ඉල්ලා සිටි වාර්තාවක් තමන්ට ලබා නොදී COPE පොදු ව්‍යාපාර කාරක සභාවට ලබා දී ඇති බවට මුදල් අමාත්‍ය රවි කරුණානායක කරන චෝදනාව 'වැරදි ප්‍රකාශයක්' බව විගණකාධිපති ගාමිණී විජේසිංහ පවසයි.

"මේ විගණකාධිපති හිතුමතේ, තමන්ගේ කාර්යභාරය ඉක්මවා ගිහිල්ලා කටයුතු කරලා තියෙනව කියන එක පේන්න තියන සාධකයක්. මේක අහන දේට උත්තර දෙන්නේ නැතිව වෙනින් තැනකට ගිහිල්ල උත්තර දෙනවා," යනුවෙන් අමාත්‍ය රවි කරුණානායක පසුගිය බදාදා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.

එහෙත් එය 'වැරදි ප්‍රකාශයක්' බව විගණකාධිපති ගාමිණී විජේසිංහ බීබීසී සංදේශයට පැවසීය. (සාකච්ඡාවට සවන්දෙන්න)

"ජනවාරි 17 වෙනිදා මම එතුමාට ඒ වාර්තාව ලබාදීල තියෙනව. ඒ වාර්තාව ලබාදුන් බව එතුමා ඊයේ (බ්‍රහස්පතින්දා) මට ලිඛිතව දැනුම්දීලත් තියෙනව," විගණකාධිපතිවරයා සඳහන් කළේය.

"ඊට අමතරව මේක කෝප් එකේ සාකච්ඡාවෙමින් පවතින කාරණයක්නේ. ඒ නිසා මම ඒ වෙලාවෙම කෝප් එකේ සභාපතිට පිටපතක් යැවුවා, ඊළඟට මහ බැංකුවේ අධිපතිටත් පිටපතක් යැවුවා."

විනිවිද පෙනෙන සුළු ස්වභාවය

රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරිත්වයේ විනිවිද පෙනෙන සුළු ස්වභාවය ප්‍රවර්ධනය කිරීම පිණිස ක්‍රියාකරන සිය ආයතනයට සිය වාර්තාවල රහස්‍යභාවය ආරක්ෂා කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බැවින් තමන් ඒ මොහොතේම එම වාර්තාව සිය නිල වෙබ් අඩවියේද ප්‍රකාශයට පත්කළ බව විගණකාධිපතිවරයා සඳහන් කළේය. (සංදේශයට සවන්දෙන්න)

Image copyright Sunday Observer

දෙස්, විදෙස් ගෞරවයට ලක්වී නව මහ බැංකු අධිපතිවරයා සහ විගණකාධිපතිවරයා වැනි නිලධාරීන් පත්කළේ තමා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා කොළඹ පැවති උත්සවයක් අමතමින් පැවසීය.

එසේ තිබියදී දිගින් දිගටම මුදල් අමාත්‍යවරයාගේ විවේචනයට ලක්වීම මගින් පැහැදිලිවන්නේ විගණකාධිපතිවරයාගේ කාර්යභාරය පිළිබඳව ආණ්ඩුවේ පැහැදිලි බෙදීමක් පවතින බව නොවේදැයි විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ, තමන් නිසි පරිදි සිය රාජකාරිය ඉටුකරන අතර විවිධ පුද්ගලයන් ඒ පිළිබඳව විවිධ අර්ථකතන ලබාදීමට ඉඩ තිබෙන බවයි.

"මේ ආණ්ඩුවේත් ප්‍රධාන සටන් පාඨය යහපාලනය. මගේ සටන් පාඨයත් යහපාලනය තමයි. ඒ දෙකේ ගැටුමක් ඇතිවෙන්න කිසිම හේතුවක් නැහැ."

'පරිවර්තන දෝෂයක්?'

මේ අතර මහත් ආන්දෝලනයට ලක් වූ බැඳුම්කර ගනුදෙනුව ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූල නොවන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා කර තිබෙන ප්‍රකාශය පිළිබඳව විමසූ විට විගණකාධිපතිවරයා කියා සිටියේ, අමාත්‍යවරයා පවසන 'ජාත්‍යන්තර ප්‍රමිතිය' කවරක්දැයි තමන් නොදන්නා බවයි.

"ලෝක බැංකුව එහෙම දෙයක් කියල නැහැ. මම දුන්නේ professional statement එකක්," ඔහු පැවසීය.

"ලෝක බැංකුව කියල තියෙනව - We are not aware of international best practises to accurately calculate the potential loss in the case of the bond auction - කියල. ඒක ඉතින් කොහොම පරිවර්තනය කරාද දන්නේ නෑ," විගණකාධිපති ගාමිණී විජේසිංහ වැඩිදුරටත් පැවසීය.