S B and Kiriella
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

"ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මුරණ්ඩුයි"

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ "මුරණ්ඩු" ප්‍රතිපත්තිය හේතුවෙන් මේවන විට සයිටම් ආයතනය විසින් පවත්වන අවසාන විභාගයකින් වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීමේ අවසරය අධිකරණය මගින් එම ආයතනයට ලබාදී ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.

අද (පෙබ. 08) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල කියාසිටියේ විදේශ වෛද්‍ය විද්‍යාලවල අධ්‍යාපනය ලැබ පැමිණෙන සිසුන්ට පවත්වන ACT 16 විභාගය සයිටම් ආයතනයේ සිසුන්ටත් පවත්වන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් ඉල්ලීම් කළත් ඔවුන් එය ප්‍රතික්ෂේප කළ බවය.

කෙසේ වෙතත් සයිටම් සිසුන්ට යම් විභාගයකට පෙනීසිටීමට සිදුවනු ඇති බව මෙම මාධ්‍ය හමුවට එක්වූ අමාත්‍ය එස් බී දිසානායක පැවසුවේය.

රජය බැඳී සිටින්නේ අධිකරණ තීන්දුව ක්‍රියාත්මක කිරීමට බවත් ඉදිරියේදී තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භවීමට නියමිත බවත් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මහාචාර්යවරු

සයිටම් ආයතනයේ සිටින මහාචාර්යවරුන් සුදුසුකම් අතින් "අංක එකේ" සිටින බව පැවසූ ආමාත්‍ය එස් බි දිසානායක, රජයේ ඇතැම් විශ්ව විද්‍යාලයන්හි මහාචාර්යවරුන්ගේ හිඟයක් ඇති බව පෙන්වා දුන්නේය.

තවත් පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කළහොත් රජයේ විශ්ව විද්‍යාලවල මහාචාර්යවරුන් එම විශ්ව විද්‍යාලවල සේවයට යාම හේතුවෙන් රජයේ විශ්ව විද්‍යාලවල මහාචාර්යවරුන්ගේ හිඟය තවත් වැඩි නොවන්නේදැයි මෙහිදී බිබීසිය විමසූවිට අමාත්‍යවරයා පැවසුවේ එවන් තත්වයක තවත් මහාචාර්යවරුන් බිහිවනු ඇති බවය.