තමිල්නාඩුව: සසිකලා අධිකරණයට භාරවෙයි

සසිකලා නටරාජන් Image copyright Aiadmk

තමිල්නාඩුවේ පාලක AIADMK පක්ෂයේ වැඩබලන ප්‍රධාන ලේකම් සසිකලා නටරාජන් බැංගලෝරු නුවර අධිකරණයකට භාර වී තිබේ.

චෙන්නායි අගනුවරදී ජයරාම් ජයලලිතා සහ එම්ජීආර් හිටපු මහ ඇමතිවරුන්ගේ ස්මාරකවලට ගෞරවය පුදකිරීමෙන් අනතුරුව ඇය සිය මෝටර් රථයෙන් බැංගලෝරු නුවර බලා ගමන් කළ බව බීබීසී දෙමළ සේවය වාර්තා කරයි.

ඇයට එරෙහිව එල්ල වී තිබූ මූල්‍ය අපචාර චෝදනාවලට සසිකලා නටරාජන් වැරදිකාරිය බව අඟහරුවාදා තීන්දු කළ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය, ඇයට සිව් වසරක සිර දඬුවම් නියම කළේය.

සසිකලාගේ ඥාතියකුවන ඉලවරසි, අභාවයට පත්වූ තමිල්නාඩුවේ හිටපු මහ ඇමතිනිය ජලලිතා ජයරාම් මෙන්ම ජයලලිතා විසින් දරුකමට හදාගත් සුදාගරන් ද අදාළ චෝදනාවලට වැරදිකරුවන් බව අධිකරණයේ නිගමණය විය.

සබැඳි විෂයයන්