ට්‍රම්ප්, සිරියාව සහ උතුරු කොරියාව: 'සීතල යුද්ධයට වඩා භයානකයි'

ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දුන් මොහොත

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

ජනපති පදවියට පත්වීමට පෙර ඇමෙරිකාව සිරියාවට පහරදීම දැඩි විවේචනයට ලක් කළ ට්‍රම්ප්, ජනපතිවරයා ලෙසින් ද සිරියාවට පහරදීම ප්‍රතික්ෂේප කළේය

ඇමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පදවියේ කටයුතු ආරම්භ කළේ ඇමෙරිකාවට ප්‍රමුඛත්වය දෙන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට ප්‍රතිඥා දෙමිනි.

අන් බොහෝ ඇමෙරිකානු ජනාධිපතිවරුන් මෙන් නොව ආරම්භයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි රුසියානු හිතවාදී ආකල්පයක් ප්‍රදර්ශනය කළේය.

විශේෂයෙන්ම ඇමෙරිකාව සිරියාවට පහරදීම ජනපති පදවියට පත්වීමට පෙර දිගින් දිගටම ඔහුගේ දැඩි විවේචනයට ලක්විය.

එහෙත් පසුගිය දින කිහිපය තුළ හදිසියේම ඒ තත්වය වෙනස්විය.

සිය රටවැසියන්ට රසායනික අවි ප්‍රහාර එල්ල කළ බවට සිරියාවේ අසාද් පාලනයට චෝදනා එල්ලවීමෙන් අනතුරුව එක්සත් ජනපදය සිරියාවේ හමුදා කඳවුරකට ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීම, ට්‍රම්ප් පාලනයේ විදේශ ප්‍රතිපතියේ පැහැදිලි වෙනසකි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

'සියලු බෝම්බවල මව'

එහෙත් එය අව්‍යාජ වෙනසක්ද?

"ඔව් මේක ඇත්ත වෙනසක්. නමුත් මේක කොයිතරම් දුරට දිගද, පළල්ද, ගැඹුරුද කියල තවම තීරණය කරන්න බෑ," දේශපාලන විශ්ලේෂක ආචාර්ය දයාන් ජයතිලක බීබීසී සිංහල සේවයට පැහැදිලි කළේය.

එක්සත් ජනපද රාජ්‍යය තුළ බලය හොබවන නව ලිබරල්වාදී මැදිහත්වීම්වාදී කණ්ඩායම් එක් අතෙකිනුත්, අනෙක් පසින් නියෝ කොන්සර්වේටිව්වාදීනුත් එල්ල කළ බලපෑම හමුවේ ජනාධිපති ට්‍රම්ප්ට සිය ප්‍රතිපතිය වෙනස්කිරීමට සිදු වූ බව ඔහු පෙන්වාදෙයි.

"දැන් ඔය කණ්ඩායම් දෙකයි, ඒ සමගම CIA සංවිධානය, පෙන්ටගන් වගේ 'ගැඹුරු රාජ්‍යය' කියන කණ්ඩායම් තුනේම විරෝධයක් තිබුණ."

එහි ප්‍රතිඵලයක් ලෙසින් සිරියාවට ගුවන් ප්‍රහාරවලින් ආරම්භ වූ වෙනසත් සමගම එතෙක් රටවැසියන්ගෙන් ජනාධිපතිවරයාට එරෙහිව එල්ලවෙමින් පැවති ප්‍රබල විරෝධය තරමක් දුරට අඩුවෙමින් පවතින බවක්ද පෙනෙන්නට තිබේ.

ඡායාරූප ශීර්ෂ වැකිය,

"සීතල යුද්ධයට වඩා භයානකයි මේක. සීතල යුද්ධයේ යම්කිසි ප්‍රතිපත්ති තිබුණා"

"ට්‍රම්ප් තමන්ගේ පැවැත්ම සඳහා මේ වෙනස කළා. ඒක සැබෑ විතැන්වීමක් කියල කියන්න පුළුවන්," ආචාර්ය දයාන් ජයතිලක පවසයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති පදවියට පත්කිරීම පිණිස රුසියානු රාජ්‍යය මැදිහත්වූයේද යන්න සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ පැවැත්වෙන අතර, සිරියාවට ඇමෙරිකානු ප්‍රහාරය එල්ලවන තුරුම ජනාධිපති පූතින් සහ ජනාධිපති ට්‍රම්ප් එකිනෙකාට ප්‍රසංශා කරගත්හ.

රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් ඇතුළු ට්‍රම්ප් පාලනයේ බොහෝ ප්‍රධානීන්ද රුසියාව සමග සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයන්ය.

එහෙත් සිරියාවට එල්ල වූ ගුවන් ප්‍රහාරයත් සමග ඒ සියල්ල එකවරම වෙනස්විය.

රුසියාව සහ ඉරානය, අසාද් පාලනයේ ප්‍රධානම ජාත්‍යන්තර හිතවතුන් වේ.

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය,

උතුරු කොරියාවේ මිසයිල බලය

"රුසියාව සමග තියන සම්බන්ධකම බිඳ වට්ටන්න අර 'ගැඹුරු රාජ්‍යය' කියන කණ්ඩායමේ යුදවාදියෝ උත්සාහ දරනවා," යන්න ඒ පිළිබඳව ආචාර්ය දයාන් ජයතිලකගේ විග්‍රහයයි.

"ට්‍රම්ප් කැමති නැතිව ඇති රුසියාවත් එක්ක කෙලින්ම ගැටෙන්න. රුසියාවත් කැමති නෑ ට්‍රම්ප් එක්ක කෙලින්ම ගැටෙන්න. නමුත් මෙතන නොයෙකුත් බලවේග, ගතිකයන් වැඩකරනවා."

අකමැත්තෙන් වුවත් ඩොනල්ඩ් ට්‍රම්ප් මේ මොහොතේ ක්‍රියාකරමින් සිටින්නේද, සිය ප්‍රතිවාදී හිලරි ක්ලින්ටන් බලයට පත්වූයේ නම් ක්‍රියාකළ හැකිව තිබූ ආකාරයටම බවත් ආචාර්ය ජයතිලක පවසයි.

ඒ අතරම මෙතෙක් උතුරු කොරියාව සම්බන්ධයෙන් 'රාජ්‍යතාන්ත්‍රික ඉවසීමේ සීමාව අවසන්' බවට ට්‍රම්ප් පරිපාලනය කරන ප්‍රකාශය කොරියානු අර්ධද්වීපයේද නව ගැටුමක ආරම්භය සනිටුහන් කරන්නක් වියහැකිය.

'සියලු බෝම්බවල මව' ලෙසින් හැඳින්වෙන බෝම්බය ඇෆ්ඝනිස්තානයේ තාලිබාන් ඉලක්කවලට එල්ලකිරීම ට්‍රම්ප් පරිපාලනයේ මේ හදිසි 'යුදවාදී' වෙනස සනිටුහන් කෙරෙන තවත් අවස්ථාවකි.

එසේ නම් මේ එළඹෙන්නේ සීතල යුද්ධයේ අලුත් අවධියක්ද?

"සීතල යුද්ධයට වඩා භයානකයි මේක. සීතල යුද්ධයේ යම්කිසි ප්‍රතිපත්ති තිබුණා, ආචාර්ය හෙන්රි කිසින්ජර් වගේ බුද්ධිමතෙක් හිටිය රුසියාව සහ චීනය එක්ක ඇමෙරිකානු සම්බන්ධතා කළමනාකරණය කරන්න. අද ඊට වඩා හුඟක් වෙනස්," ආචාර්ය දයාන් ජයතිලක වැඩිදුරටත් පැවසීය.