සැත්කමක් අතර වාදයක පැටලුනු වෛද්‍යවරු

The doctors are seen trading insults in Hindi

ගැබිණි මවකට සිසේරියන් ශල්‍ය කර්මයක් සිදු කරමින් සිටින අතරවාරයේ උණුසුම් වාදයක පැටලුනු වෛද්‍යවරුන් දෙදෙනෙකු තාවකාලිකව සේවයෙන් ඉවත් කරන ලද බව ඔවුන් සේවය කළ ඉන්දීය රෝහලේ බලධාරීහු පවසති.

රෝහල් බලධාරීන් එම පියවර ගෙන තිබෙන්නේ රෝගී මව අසල සිට ඔවුන් දෙදෙනා එකිනෙකාට බැනගන්නා ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රකාශයට පත්වීමෙන් අනතුරුවය.

රාජස්තාන් ප්‍රාන්තයේ උමයිඩ් රෝහලේ සේවය කරන වෛද්‍යවරුන් දෙදෙනාගේ එම හැසිරීම පිළිබඳව කෝපය පළකරමින් බොහෝ දෙනා සමාජ ජාල ඔස්සේ අදහස් පළ කර තිබුණි.

සැත්කමට භාජනය කරන ලද මව සහ ඇය බිහි කළ බිළිඳා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව රෝහලේ නිලධාරිනියක් බීබීසීයට පැවසීය.

'බිළිඳා මිය ගියේ නෑ'

එම වීඩියෝ පටය ප්‍රකාශයට පත්කරන ලද්දේ කවුරුන් විසින් ද යන්න පැහැදිලි නැතත්, එය සිය රෝහල තුළ සිදුවූවක් බව ද ඇය සනාථ කළාය.

සැත්කමෙන් අනතුරුව බිළිඳා මියගිය බව, වීඩියෝ පටය අන්තර්ජාලයේ ප්‍රකාශයට පත්වීමෙන් අනතුරුව බොහෝ ජනමාධ්‍ය වාර්තා කර තිබුණි.

එහෙත් එම වාර්තා සත්‍යයෙන් තොර බව බීබීසී යට කියා සිටි රෝහල් අධිකාරී වෛද්‍ය රංජනා දේසායි, එදිනම එම ශල්‍යාගාරයේ සිදුකෙරුණු වෙනත් සැත්කමකින් අනතුරුව උපත ලැබූ බිළිඳෙකු මිය ගිය නමුත් එම සිදුවීම් දෙක අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව අවධාරණය කළාය.

ශල්‍යාගාරයේදී වෛද්‍යවරුන් දෙදෙනා හින්දි භාෂාවෙන් එකිනෙකාට අපහාස කරගන්නා ආකාරයත්, ගැබිණි මව සැත්කමට පෙර ආහාර ගත්තේ ද යන්න පිළිබඳව උණුසුම් වාදයක පැටලුනු ආකාරයත් වීඩියෝ පටයේ සටහන්ව තිබේ.

ඔවුන් දෙදෙනා වෛද්‍ය අශෝක් නනිවාල් සහ වෛද්‍ය මධුර ලාල් ටක් බව වෛද්‍ය රංජනා දේසායි සඳහන් කළාය.

ඔවුන් දෙදෙනාගේ සේවය අත්හිටුවා නොමැති බව ද ඇය කියා සිටියාය.

සිදුවීම පිළිබඳව රෝහලේ අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වෙන අතර, ඒ අතරවාරයේ සිදුවීම පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් රාජස්තාන් ප්‍රාන්ත මහාධිකරණය රෝහල් බලධාරීන්ට නියෝග කර තිබේ.

සබැඳි විෂයයන්