සිය දිවි නසා ගැනීම්: "සවන් දීමෙන් වැළැක්විය හැකියි"

  • 2017 සැප්තැම්බර් 27
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
දිවි නසා ගැනීම් වළක්වන්නේ කෙසේද?

කිසිවෙකු ජීවිතය ගැන කළකිරී ඇතැයි ඇඟවීමක් කළහොත් ඔහුට/ඇයට සවන් දීමෙන් එම පුද්ගලයා සිය දිවි නසා ගැනීමේ සිතුවිල්ලෙන් ඉවත්කර ගත හැකි බව සුමිත්‍රයෝ සංවිධානය පවසයි.

'සුමිත්‍රයෝ' ජීවිතය ගැන කලකිරුණු පුද්ගලයන්ට සවන් දී ඔවුන්ගේ ගැටළු නිරාකරණය කර දෙන සංවිධානයකි.

තරුණ බොක්සිං ක්‍රීඩකයෙකු, පොලිස් නිලධාරියෙකු සහ තරුණ නළුවෙකු සියදිවි නසා ගැනීමේ පුවත් ගත වූ සතිය ඇතුළත වාර්තා වීමත් සමග සිය දිවි නසා ගැනීම් පිළිබඳව සමාජයේ යළිත් වරක් සංවාදයක් මතු වී තිබේ.

පසුගිය වසර තුන ඇතුළත ශ්‍රී ලංකාව තුළ වසරකට සිය දිවි නසා ගැනීම් 3,000කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබේ. ශ්‍රී ලංකාව, ජනගහනයට ප්‍රතිශතයක් ලෙස ලෝකයේ වැඩිම සිය දිවි නසා ගැනීම් වාර්තාවන රටවල් අතරින් එකකි.

ශ්‍රී ලංකාව තුළ සිය දිවි නසා ගැනීම්

  • 2016 වසරේ සිදුවීම් 3025ක් (පිරිමි 2339, කාන්තාවන් 686)
  • 2015 වසරේ සිදුවීම් 3058ක්. (පිරිමි 2369, කාන්තාවන් 669)
  • 2014 වසරේ සිදුවීම් 3,144ක්. (පිරිමි 2484, කාන්තාවන් 660)
  • (මූලාශ්‍රය - පොලිසිය)

පොලිස් සංඛ්‍යාලේඛන අනුව මෙම මරණවලට වැඩි වශයෙන් හේතු වී තිබෙන්නේ ආර්ථික ගැටළු, ප්‍රේම සම්බන්ධතා, පවුල් ප්‍රශ්න සහ මානසික ගැටළුය.

සිය දිවි නසා ගැනීම් අඩුකර ගැනීමට එයට තැත්කරන පුද්ගලයන් සමග සිටින නෑදෑ හිතමිතුරන්ට විශාල කාර්යභාරයක් ඉටු කළ හැකි බව සුමිත්‍රයෝ සංවිධානයේ ක්‍රියාකාරිනියක වන සමන්තා ගොවිපල්ගොඩ පවසයි.

"ප්‍රශ්න දරා ගැනීමට හැකියාව අඩුවීම මේකට එක හේතුවක්. බලාපොරොත්තුවක් නැතිවුනාම, අහන්න කෙනෙක් නැතිවුනාම මේක ඒගොල්ලන්ගේ හිතට එන්නේ. ඒ වෙලාවට කවුරුහරි ඉඳල ඒගොල්ලන්ට බලාපොරොත්තුවක් ඇති කරන්න පුළුවන් නම්, ඒගොල්ලන්ට ඇහුම්කන් දෙනවනම් ඒ සිතුවිල්ල අයින් කරගන්න පුළුවන්."

සාමාන්‍යයෙන් සිය දිවි නසාගැනීමේ සිතුවිල්ලක් පැය 48ක කාලයක් පමණ සක්‍රියව පවතින බව ද ඇය සඳහන් කළාය.

"සියදිවි නසා ගැනීමේ අදහසක් තියෙන කෙනෙක් ඒකට ඉඟියක් දෙනවමයි. ගොඩක් වෙලාවට අපේ සමාජය පුරුදු වෙලා තියෙනවා මේක විහිළුවට අරගෙන මග හරින්න."

"නමුත් අපි ඒ වෙලාවේ කළ යුත්තේ එයත් සමග කතා කිරීම. ඇයි ඔයා එහෙම කියන්නේ, ඇයි ඔයාට මොකක්ද වෙලා තියෙන්නේ කියල ඇහුවොත් ඒ කතා කිරීමම ඇති එයාව ජීවත් කරන්න," සුමිත්‍රයෝ සංවිධානයේ සමන්තා ගොවිපල්ගොඩ බීබීසී සිංහල සේවයට පැවසීය.

සියදිවි නසා ගැනීමේ උත්සාහයක නියැලුණු පුද්ගලයකු සමග ඒ ගැන කතා නොකළ යුතු බව ඇතැමුන්ගේ මතය වුවත් සිදු කළ යුත්තේ ඒ ගැන කතා කිරීම බව අවධාරණය කළාය.

"සමහර විට එයාගේ ප්‍රශ්නේ පොඩි එකක් වෙන්න පුළුවන්. හැබැයි ඒක එයාට ලෝක දෙයක්. ඒ නිසා කතා කරන්න."

මේ අතර මානසික රෝගීන්ට ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවතින තත්වය පිළිබඳව පසුගියදා බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජයන් මෙන්ඩිස්, අවශ්‍ය කාර්ය මණ්ඩල නොමැතිවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ මානසික රෝගවලට ප්‍රතිකාර කිරීම බරපතල ගැටළුවක්ව පවතින බව කියා සිටියේය.

විශේෂඥයන් සිටින නමුත් මානසික වෛද්‍යවරුන්, මානසික උපදේශකයන් සහ සමාජ සේවකයන් ඇතුළු සහාය කාර්ය මණ්ඩලවල බරපතල හිඟයක් පවතින බවද ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ හිටපු අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි.

"මෙම හිඟය ලංකාවේ හැම තැනම තියෙනවා. ඒකත් එක හේතුවක් තමයි රෝගී සත්කාර ක්‍රමය 100% ක් ලබාදීමට නොහැකිවීමට," විශේෂඥ වෛද්‍ය ජයන් මෙන්ඩිස් පැවසීය.

එය පියවීමට පියවර නොගන්නේ ඇයි?

විශේෂඥ වෛද්‍ය ජයන් මෙන්ඩිස් පෙන්වාදෙන පරිදි එයට හේතු කිහිපයක්ම තිබේ:

  1. මානසික රෝග පිළිබඳ උපදේශකයන් ඇතුළු සායනික සේවකයන් (clinical workers) වසරකට විශ්වවිද්යාලයෙන් පිටවන්නේ දස දෙනෙකුට ආසන්න පිරිසක් වීම
  2. සමාජ සේවකයන් නැවත ලබාගැනීමේ නිසි ක්‍රමවේදයක් නොමැතිවීම
  3. මානසික රෝග පිළිබඳ වෛද්‍යවරුන් (occupational therapists) ප්‍රමාණවත් තරම් බිහි නොවීම

මෙම ගැටළුව පිළිබඳව දිගින් දිගටම බලධාරීන්ට පෙන්වා දුන් නමුත් එයට විසඳුමක් නොලැබුන බව පවසන විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, නිසි සැලසුමක් නොමැතිවීම මෙන්ම ඇතැම් පරිපාලන ගැටළුද මේ තත්වයට බලපා තිබෙන බවය.

"මගේ අවුරුදු 35 දි, එකම දේ අපි දිගින් දිගටම සාකච්ඡා කරලා තියනව. ඒවා කවදාවත් ඉටුවෙලා නෑ."

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර