දරුවන් දහතුනක් දම්වැලේ; කැලිෆෝනියාව කම්පා වෙයි

  • 2018 ජනවාරි 16
Image caption ඩේවිඩ් ඇලන් ටර්පින් සහ ඔහුගේ බිරිඳ ලුවිස් ඇනා ටර්පින්

තමන්ගේම දරුවන් දහතුන් දෙනෙකු දම්වැල් වලින් නිදන ඇඳවල්වලට බැඳ ඉබි යතුරු දමා නිවසේ සිරකර තබාගෙන සිටි බවට චෝදනා ලබන මවුපිය යුවළක් කැලිෆෝනියා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

ඩේවිඩ් ඇලන් ටර්පින් (වයස අවුරුදු 57) සහ ඔහුගේ බිරිඳ ලුවිස් ඇනා ටර්පින් (වයස අවුරුදු 49) අඹුසැමි යුවළ ළමුන්ට වධදීම සහ එම ළමුන්ගේ ජීවිත අනතුරුදායක අඩියකට පත් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබති.

'ලොස් ඇන්ජලීස්' නගරයෙන් ගිනිකොණ දෙසට වන්නට සැතපුම් 59 ක් ඈතින් පිහිටි 'පෙරීස්' (Perris) නම් උප නගරයේ ජීවත් වෙන එම යුවළ වයස අවුරුදු දෙකේ පටන් අවුරුදු 29 තෙක් විවිධ වයස් වලට අයත් දරුවන් දහතුන් දෙනකුගේ දෙමව්පියෝ වෙති.

'ටර්පින්' යුවළ සිය දරුවන් සිරකර තබාගෙන සිටින බව නිලධාරීන්ට දැනුම් දී තිබෙන්නේ ඔවුන්ගේම දාහත් හැවිරිදි දියණියක විසිනි.

වයස අවුරුදු දාහතක් වන නමුත් අවුරුදු දහයක පමණ පෙනුමක් සහිත වැහැරුණ සිරුරක් සහිත එම දැරිය පසුගිය ඉරිදා සිය නිවසේ තිබුණ ජංගම දුරකතනයක් ද රැගෙන නිවසින් පළාගොස් සමාජයෙන් එතෙක් සැඟවී තිබුණ "මහා රහස" ප්‍රදේශයේ ෂෙරීෆ් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දැනුම් දී ඇති බව එම කාර්යාලය මගින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙයි.

ඉන් අනතුරුව එම නිවසට ඇතුල් වූ පොලිස් නිලධාරීන්ට දුගඳ අඳුරු කාමරවල ඇඳවලට තබා දම්වැල් ලා බැඳ ඉබියතුරු දමා සිරකර සිටි සෙසු දරුවන් දැක ගැනීමට ලැබී ඇත.

එම දර්ශනයෙන් කම්පාවට පත් පොලිස් නිලධාරීන්ට වයස අවුරුදු 18 පටන් අවුරුදු 29 තෙක් විවිධ වයසේ පසු වූ වැඩිහිටි වියේ පසු වෙන්නන්ද ඇතුළුව දරුවන් හත් දෙනකු සොයා ගැනීමට හැකි විය.

"අපට හමු වූ දරුවන් මන්ද පෝෂණයෙන් පෙළෙනවා. ඒ වගේම ඔවුන් සිටියේ අපිරිසිදු තත්වයක" ලොස් ඇන්ජලීස් පොලිසිය පවසයි.

මේ වනවිට එම දරුවන් රෝහල්ගත කරනු ලැබ අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙමින් ඇත.

"මේක අපේ කාර්ය මණ්ඩලයට අදහා ගන්නත් බැරි කතාවක්. හදවත් කම්පාවට පත් කරන සිද්ධියක්. විශ්වාස කරන්නත් අමාරුයි" එක් රෝහලක ප්‍රධානියෙක් පැවසීය.

Image copyright David Allen Turpin/FACEBOOK
Image caption ටර්පින් පවුලේ ඡායාරූපයක් -දරුවන් නිල ඇඳුමකින්

රහස රැක්කේ කොහොමද?

'පෙරිස්' නගරයේ 'මුවර්' පාරේ අංක 161 නිවස අද්භූත බිහිසුණු තැනක් බව එහි බාහිර පෙනුම මගින් පෙන්නුම් නොකරන බව BBC පෙරිස් වාර්තාකරු ජේම්ස් කුක් පවසයි.

"ඒක ලස්සන නිවසක්. නිවස ඉදිරිපිට කාර් තුනක් නවත්වල තියෙනවා. දොර රෙදි ඇදල. ඒත් ලස්සන නත්තල් තරුවක් එක ජනේලයක එල්ලල තියෙනවා" ජේම්ස් කුක් තමා දුටු නිවස විස්තර කරයි.

ඉතාම යහපත් තත්වයක් පවතින කලාපයක පිහිටි නිවසක මෙවැනි "ශෝකජනක රහසක්" සඟවා තබා ගැනීමට 'ටර්පින්' ජෝඩුව සමත් වුණේ කෙසේදැයි බීබීසී වාර්තාකරු ප්‍රශ්න කරයි.

අසල නිවසක මෙවැනි ගුප්ත දෙයක් සිදු වෙමින් පැවතීම ඇස නොගැටීම පිළිබඳව 'ටර්පින්' නිවස අවට අසල්වැසියන් දැන් තමන්ගෙන්ම ප්‍රශ්න කරමින් සිටින බවත් BBC පෙරිස් වාර්තාකරු ජේම්ස් කුක් සඳහන් කර ඇත.

'ටර්පින්' ජෝඩුව සිය දරුවන් දහතුන් දෙනා කොපමණ කාලයක් මෙපරිද්දෙන් දම්වැලින් බැඳ සිරකර තබා ගෙන සිටියේද? එසේ කළේ කුමක් නිසාද? යන දුෂ්කර ප්‍රශ්න වලට කිසිවකු ළඟ තවමත් පිළිතුරක් නැත.

ආණ්ඩුවේ වාර්තා අනුව කලින් 'ටෙක්සාස්' ජනපදයේ ජීවත් වූ 'ටර්පින්' පවුල 2010 වසරේ කැලිෆෝනියාවට පැමිණ ඇත.

නිවසේ පියා වන ඩේවිඩ් ඇලන් ටර්පින් දෙවරක් සිය බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කළ තැනැත්තෙකි.

ඔහු දෙවන වතාවට සිය බංකොලොත් භාවය ප්‍රකාශයට පත් කරන ලද අවස්ථාවේ 'සාපේක්ෂව බලන විට' හොඳ වැටුපක් සහිත රැකියාවක් ලැබී ඇත.

ගුවන් ගමන් පිළිබඳ ආරක්ෂක අංශයට අදාළ තාක්ෂණික සමාගමක ඉංජිනේරු රැකියාවක් ඔහුට ලැබුණ බව වාර්තාවන්හි දැක්වෙයි.

කෙසේවුවද, ලොකු පවුලක බර දැරීමට සිදු වූ ඔහුගේ බිරිඳ හෝ දරුවන් රැකියාවක් නොකළ බව එම වාර්තා පෙන්නුම් කරයි.

සිය පුතා සහ ඔහුගේ දරු පවුල අවුරුද හතරකින් හෝ පහකින් නොදුටු බව ඩේවිඩ් ඇලන් ටර්පින්ගේ දෙමව්පියෝ පවසති.

Image copyright David Allen Turpin/FACEBOOK
Image caption මෙවැනි ඡායාරූප රාශියක් ඔවුන්ගේ ෆේස්බුක් වෙබ් අඩවියේ දැක්වෙයි

ටර්පින් පවුලේ 'ෆේස්බුක්' පිටුවට ගිය විට ඔවුන් සතුටින් සිනාවෙන් පසු වෙන ඡායාරූප ගණනාවක් දක්නට ලැබෙයි.

ඔවුන්ගේ මිතුරන් විසින් ඒවා සම්බන්ධයෙන් පළකර ඇති අදහස් ද ඊට එක් කොට ඇත.

ටර්පින් පවුලේ දරුවන්ට "නිවසේ දී අධ්‍යාපනය ලබා ඇතැයි" දරුවන්ගේ මව්පිය දෙපාර්ශවයේ සීයලා සහ ආච්චිලා කියා සිටියත් එහි තේරුම හෝ එම අධ්‍යාපනය කුමක්ද? යන්න පැහැදිලි නැත.

කැලිෆෝනියාවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ එක් වෙබ් අඩවියක දැක්වෙන පරිදි, ඩේවිඩ් ඇලන් ටර්පින් ඔහුගේ නිවසේ පවත්වා ගෙන යනු ලබන 'සෑන්ඩ්කාර්සල්' දිවා පාසලේ (Sandcastle Day School) විදුහල්පතිවරයා වෙයි.

එම වෙබ් අඩවියට අනුව 2011 වසරේ මාර්තු මාසයේ ආරම්භ කරනු ලැබ ඇති 'සෑන්ඩ්කාර්සල්' දිවා පාසලේ විවිධ ශ්‍රේනීන්වලට ළමුන් හය දෙනෙක් ඇතුළත් වී ඇත.

'ටර්පින්' පවුලේ අසල්වැසියෙක් 'රොයිටර්' පුවත් සේවයට අදහස් දක්වමින්, එම පවුල සමාජයෙන් දුරස්ථ තොරතුරු නැති පවුලක් ලෙස විග්‍රහ කළේය.

"ඔවුන් දකින්න නැහැ. ඒ ගෙදරට යන එන කෙනෙක් දකින්න නැහැ. ටර්පින් ජෝඩුව දකින්න ලැබෙන්නේ ළඟ කඩේකට යන එනකොට විතරයි" එම අසල්වැසියා වැඩිදුරටත් සඳහන් කළේය.

Image copyright Reuters
Image caption නිවසට යනඑන කෙනෙකු දක්නට නොවූ බව අසල්වැසියෝ පවසති

"ඒ පවුලේ දරුවන් සෙල්ලම් කිරීමටවත් ගෙදරින් එලියට ආවේ නැත්තේ කුමක් නිසාද? යන්න ගැන මම පුදුම වුනා" අසල්වාසී කාන්තාවක් 'ලොස් ඇන්ජලීස්' (Los Angeles Times) පුවත්පතට ප්‍රකාශ කළාය.

"මම හිතුවා - ඒ ළමයි ගෙදර දී අධ්‍යාපනය ලබනවා කියල. අපි අනිත් මිනිස්සු ගැන නරක විධියට හිතන්න නරකයිනේ " එම කාන්තාව පවසන්නීය.

"මම ඒක වතාවක් ඒ පවුලේ දරුවකුට 'හලෝ' කියල කිව්වා. ඒ ළමයාගේ ප්‍රතිචාරය වුණේ 'හැංගෙන්න කැමති කෙනෙක්' තුළ තියෙන ඉරියව්වක්" එම කාන්තාව අතීත සිද්ධියක් සිහිපත් කළාය.

තවත් කතා;