අහස් ගව්ව මගේ ජීවිත කතාවයි - අමරසිරි කලංසූරිය

  • 2018 ජනවාරි 30
Image copyright Tissa Nagodavithana
Image caption 'බඹරු ඇවිත්' මතකය

ශ්‍රී ලංකාවේ සිනමාවට අහිමි වූ දැවැන්තයන් අතරට එක්වෙන අලුත්ම නාමය ධර්මසේන පතිරාජ නමින් පෙනී සිටි මිනිසාට අයත් වෙයි.

ජනවාරි 28 වෙනිදා උදෑසන දිවියෙන් සමුගත් ඒ මිනිසා සිය මරණය නිසා කම්පාවට පත් සහෘද සිනමාලෝලීන්ගේ මෙන්ම සමීප හිතවතුන්ගේ සිත් තුළ මතු වූ ශෝකය ප්‍රකාශ වීමටත් පෙර එදිනම සන්ධ්‍යාවේ ඔවුන්ගෙන් සමුගෙන ගියේ ඔහු ගැන කතා කිරීමට බොහෝ කාලය ඉතිරි කරමිනි.

ධර්මසේන පතිරාජයන් පිළිබඳව තවමත් අපි කතා කරමින් සිටිමු.

ඒ ඔහු වෙනුවෙන් කතා කිරීමට බොහෝ දේ ඇති බැවිනි.

එම කතාව ගෙතෙන්නේ සිනමාවේදියකු සහ ගුරුවරයකු මෙන්ම යහපත් මිනිසකු ආදී වශයෙන් වූ විවිධ පැතිකඩ ඇසුරිණි.

පතිරාජයන්ගේ අභාවයත් සමඟ 'මහා පාළුවක් දැනෙන බව' ඔහුගේ හිතවතෙකු සිය ෆේස්බුක් පිටුවෙහි ලියා ඇත.

අහස් ගව්වෙන් පිම්මක්

Image copyright nfc.gov.lk
Image caption අමරසිරි කලංසූරිය

සමාජය විසින් ධර්මසේන පතිරාජයන් මනිනු ලබන කෝදුව ඔහුගේ සිනමා භාවිතයය.

පතිරාජයන් නිර්මාණය කරන ලද අහස් ගව්ව, බඹරු ඇවිත්, පාර දිගේ පොන්මනී සහ සොල්දාදු උන්නැහේ වැනි චිත්‍රපට සමුදායෙහි භාවිතය ශ්‍රී ලංකාවේ සිනමා වංශ කතාවේ ඉන් පසු තවමත් දක්නට නොලැබුණ බව සම්මානලාභී රංගධර අමරසිරි කලංසූරිය පවසයි.

"අපි පාසල් කාලයේ පටන් මිතුරෝ. 'පති'පේරාදෙණිය සරසවියට ගියා. ඒත් ඔහු හැමදාම මා දිහා බලාගෙන සිටියා. හන්තානේ කතාවේ තිර පිටපත් රචකයා වූ 'පති' මට ඇවිත් කිව්වා - අලුත් චිත්‍රපටයක් හදනවා- වරෙන් කියල. අන්න එදා එතැනින් 'පති' තමයි මගේ සිනමා ජීවිතයට මුල පුරන්නේ" ප්‍රවීණ රංගධරයා සිය සිනමා ජීවිතයේ සමාරම්භය බීබීසී සිංහල සේවයට විස්තර කරන්නේ මාර්ගෝපදේශක ගේ මිතුරා වියෝවෙන් හටගත් සංවේදනයේ ස්වරයෙනි.

"පති දවසක් ඇවිත් මට කිව්වා රුපියල් තිස් දාහක් තියෙනවා නම් චිත්‍රපටයක් කරන්න පුළුවන්ය කියල. ඒ 'අහස ගව්ව'. මම සොරබොර ගිහින් මිත්‍රරත්න හේරත් හමුවෙලා රුපියල් තිස් දාහ යොදවන්න ඔහු එකඟකර ගෙන ඇවිත් පතිට කිව්වා. අහස් ගව්ව කියන්නේ මගේ ජීවිත කතාව. පති දැන ගෙන හිටියා මගේ ජීවිත කතාව. ඒ වෙන කොට මම දෙමව්පියන් නැති අනාථ තරුණයෙක්. මට කන්නවත් නැති බව දැන සිටිය 'පති' මාව පේරාදෙණිය සරසවියට එක්ක ගිහින් කන්න දීල තියෙනවා. මම වගේ තමයි විජය කුමාරතුංග. විමල් කුමාර් ද කොස්තා - අහස් ගව්වේදි එක්වුන අපි ඔක්කෝම රැකියා නැති එක වගේ තරුණයෝ. පති අහස් ගව්වෙන් කිව්වේ මගේ කතාව" අමරසිරි කලංසූරිය 1970 දශකයේ රැකියා විරහිත තරුණයන්ගේ ඉරණම යළි අප ඉදිරියේ චිත්‍රණය කරන්නේ අහස් ගව්වේ රූපරාමු අප ඉදිරියේ මවමිනි.

සම්මාන නවයක්

"අහස් ගව්වෙන් අපට සම්මාන නවයක් ම ලැබුනා, හොඳම නළුවා වුණේ මම"

"බඹරු ඇවිත් වගේ චිත්‍රපටයක් ආයෙත් හදන්න පුළුවන්ද ?" ඔහු ප්‍රශ්න කරයි.

පතිරාජ නිර්ධන පන්තියෙන් බිහි වූ ජනතා ජීවිතය විනිවිද දුටු කලාකරුවෙක්ය යන්න අමරසිරි කලංසූරියගේ විග්‍රහය වෙයි.

"පති තුළ විශාල නිශ්ශබ්දතාවයක් ගැබ් වෙලා තිබුණා. ඒත් ඒක එක්තරා විධියක භයානක නිශ්ශබ්දතාවයක්. ඒ නිශ්ශබ්දතාවය පුපුරා ගියේ අහස් ගව්වෙන්. ඒ වගේම බඹරු ඇවිත්,පාරදිගේ සහ පොන්මනී වගේ චිත්‍රපට මගින්"

රෝහණ විජේවීර අවි ආයුධ මගින් විප්ලවයක් දියත් කළා. පතිරාජ සිය මනසින් , සිය දැනුමෙන් , කලාවෙන් විප්ලවයක් කළා. ඔහුගේ චිත්‍රපට සමාජ විප්ලවයක්" කලන්සූරිය පවසයි.

සෙසු අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපටවල රංගනයේදී ඔවුන්ගෙන් තමා ලද ගරුත්වයේ රහස ධර්මසේන පතිරාජයන් සමඟ "වැඩකර තිබීම" බවත් අමරසිරි කලංසූරියගේ අදහසය.

නව පරපුරේ ආලෝකය

ධර්මසේන පතිරාජයන් ගේ ආභාෂය ලබන චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන ප්‍රසන්න විතානගේ මෙසේ පවසයි.

"පතිරාජ අප වැන්නන් සිනමාකරුවන් කිරීමට පෙළඹවූ සිනමාකරුවෙක්. මම මින් පෙරත් කියපු කතාවක් කියන්නම්.1974 වසරේ ජනවාරි මාසයේ දවසක 'අහස් ගව්ව' නැරඹුව දවසේ වෙන කිසිම චිත්‍රපටයකින් නොලද ආශ්වාදයක් මම ඒ චිත්‍රපටයෙන් ලැබුවා. ඒ චිත්‍රපටයේ දකින්න ලැබෙන විජය කුමාරතුංග රඟපාන මහතුන්, අමරසිරි කලංසූරිය රඟන රැකියා විරහිත තරුණයා මම ඉන් පෙර කිසිම චිත්‍රපටයක දැකල නැහැ" ප්‍රසන්න තම සිනමා දිවිය කෙරෙහි පතිරාජයන් විසින් ඇති කරන ලද බලපෑම වචනවලින් සිතුවම් කරයි.

Image copyright With you without you
Image caption ප්‍රසන්න විතානගේ(දකුණේ) 'ඔබ නැතුව ඔබ එක්ක' ප්‍රධාන නළු නිලි යුවළට උපදෙස් දෙමින්

බොහෝ සිනමාවේදීන් ධර්මසේන පතිරාජ ගුරුවරයකු මට්ටමින් සලකනු ලබන්නේ ඔහු රූපවාහිනී අභ්‍යාස ආයතනයේ අධ්‍යක්ෂවරයකු වී තරුණ සිනමාකරුවන් පුහුණු කිරීම නිසා නොව වෙනත් තේරුමකින්ය යන්න ප්‍රසන්නගේ වටහා ගැනීමය.

"පතිරාජ සැබෑ ගුරුවරයෙක්. ඔහු ගුරුවරයකු වන්නේ සමස්ත සමාජයට මග පෙන්වීමක් කළ අර්ථයෙන්. ඔහු අපට ගුරුවරයකු වගේම සහෝදරයෙක් වගෙයි. ඔහු අප ඉදිරියේ කිසිදාක වැඩිහිටියකු වුණේ නැහැ. අපි හැප්පෙන තැන්වල දී පතිරාජත් අපිත් එක්ක එකට හිටියා. ඔහුට ඒ සඳහා මග පෙන්වන දර්ශනයක් තිබුණා. ඔහුගේ ජීවිතය විවෘත පොතකට සමානයි .ඔහු තමා ජීවත් වූ සමාජය තුළ අරගලයක නිරත වෙමින් සිටි පුද්ගලයෙක්. ඔහුගේ නිර්මාණ තුළින් එලි දැක්වුණේ ඔහුගේ එම අරගලයයි. "

"අපි නොදැකපු අපට නොපෙනෙන දේවල් ඔහු දැක්කා. ඔහුගේ සිනමා භාවිතය තුළ,දකින්න ලැබෙන්නේ ඒ දේවල්" ප්‍රසන්න විතානගේ පවසයි.

රිදී තිරයේ පමණක් නොව පුංචි තිරයේ දී (රූපවාහිනිය) ඇල්ල ළඟ වලව්ව, මායා මන්දිර සහ කඩුල්ල වැනි නිර්මාණ මගින් ධර්මසේන පතිරාජයන් මතුකරන ප්‍රතිභාව ප්‍රසන්න විතානගේ සිහිපත් කරයි.

ජීවත් වූ පතිරාජ තුළ වූ සමාජ සවිඥානිකත්වය, මරණින් පසු තමා සම්බන්ධයෙන් අනුගමනය කිරීම සඳහා තබා ගිය අන්තිම කැමැති පත්‍රය මගින් ද විදහා දක්වන්නේය යන්න ප්‍රසන්නගේ අදහස වේ.

නිල චිත්‍රපට උත්සවවල දී පතිරාජ වෙනුවෙන් සම්මාන පිරිනමා නැතත් ඔහු මහජන සම්මානයෙන් පුද ලද බව ප්‍රසන්න විතානගේ පවසයි.

යාපනයේ ආගන්තුකයා

ආචාර්ය ධර්මසේන පතිරාජ ශ්‍රී ලංකික සමාජය හඳුනන්නේ නිල සම්මාන නොලත් එහෙත් සම්මානනීය සහ සම්භාවනීය චිත්‍රපට අධ්‍යක්ෂවරයකු හැටියට නමුත් ඔහු තුළ ජීවත් වූ බුද්ධි ගවේෂකයා ඇතැමෙකුට ආගන්තුක විය හැකිය.

ඔහු දේශකයකු ලෙස සරසවි කීහිපයක ආචාර්ය මණ්ඩලයේ සේවය කර ඇති අතර එම වෘත්තීය ජීවිතයේ සුවිශේෂී සහ කඩයිම් කාල පරාසයක් වන්නේ යාපනය සරසවිය ආරම්භ කිරීමත් සමඟ එහි ගත කළ අවුරුදු කිහිපය වේ.

පතිරාජ 'පොන්මනී' දමිළ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ එසේ ගතකළ යාපනය ජීවිතයේ අග්‍ර පලය නෙළා ගනිමිනි.

Image copyright dayapala thiranagama
Image caption 'පොන්මනී' යාපනය ජීවිතයේ ඇතුලාන්තය දැකීමේ පලයක් -දයාපාල තිරාණගම

"සිංහල ආචාර්ය මණ්ඩලයට යාපනය අලුත් අත්දැකීමක් වුනා. යාපනය සරසවිය ආරම්භ කරනු ලැබීමෙන් පසුව එහි ගිය සිංහල කථිකාචාර්යවරුන් අතරින් වැඩි දෙනකුට වාමාංශික පසුබිමක් තිබුණා. විශේෂයෙන්ම මහාචාර්ය සුචරිත ගම්ලත් සහ ආචාර්ය ධර්මසේන පතිරාජට තිබුණේ එවැනි පසුබිමක්" යාපනය සරසවියේ තත්කාලීන කථිකාචාර්යවරයකුව සිටි දයාපාල තිරාණගම බීබීසී සිංහල අංශය කළ විමසීමක දී පතිරාජයන්ගේ අතීත දිවිය ආවර්ජනය කරමින් සඳහන් කළේය.

එවක යාපනය සරසවියේ දෙමළ අංශයේ කථිකාචාර්යවරුන්ව සිටි මහාචාර්ය සිවතම්බි සහ මහාචාර්ය කෛලාසපති වැනි මාක්ස්වාදී බුද්ධිමතුන් සමඟ කිට්ටු සම්බන්ධතාවක් ඇතිකරගත් ආචාර්ය ධර්මසේන පතිරාජ ඇතුළු සිංහල අංශයේ වාමාංශික මතවාදීන්ට එමගින් එම දමිළ සමාජය හඳුනා ගැනීමට අවස්ථාව ලද බවත් යාපනය විශ්ව විද්‍යාලයේ හිටපු කථිකාචාර්ය දයාපාල තිරාණගම පවසයි.

එම හඳුනා ගැනීම ආචාර්ය ධර්මසේන පතිරාජ 'පොන්මනී' දමිළ චිත්‍රපටය නිර්මාණය කිරීම සඳහා යොමු කරන ලද බව ඔහු කියා සිටී.

"යාපනය සමාජය හඳුනා ගැනීම අභියෝගයක් වුනා. ඒත් පතිරාජ ඇතුළු අපට එම හඳුනා ගැනීම සක්‍රීය ගතිකභාවයක් ලබා දුන්නා" ඔහු පවසයි.

"පතිරාජ දමිළ සමාජය සැලකුවේ සිය සහෝදරයන් හැටියට. පතිරාජගේ එම ආකල්පය දමිළ සරසවි ශිෂ්‍යයන් සහ දමිළ ආචාර්ය මණ්ඩලය තේරුම් ගෙන සිටියා. එදා එහි ජාතිවාදයක් නොතිබුණාය කියල එමගින් අදහස් කෙරෙන්නේ නැහැ. එවැනි ප්‍රවණතා තිබුනත් එම ජාතිවාදී ප්‍රවණතා මැඩපැවැත්වීමට අවශ්‍ය වූ බුද්ධිමය සහ දාර්ශනික අධිකාරියක් සරසවිය තුළ ගොඩ නැගීමට පතිරාජ ඇතුළු ආචාර්ය මණ්ඩලයට හැකි වුණා" හිටපු කථිකාචාර්ය දයාපාල තිරාණගම සිය වෘත්තීය සගයාගේ අතීත කාර්යභාරය සිහිපත් කළේ එවැනි වචන සමුදායකිනි.

ධර්මසේන පතිරාජයන්ගේ සියලු චිත්‍රපටවල ඔහු තුළ ජීවත් වූ සැබෑ මිනිසාගේ සෙවණැල්ල පතිතව ඇති බව දයාපාල තිරාණගමගේ තක්සේරුවයි.

සිංහල සිනමාවේ තුන්වෙනි අදියර

ධර්මසේන පතිරාජ සිනමා ආඛ්‍යානය ගැඹුරු විෂයක් වැනිය.

ශ්‍රී ලංකාවේ පමණක් නොව විදේශීය චිත්‍රපට උළෙල කීපයක් නියෝජනය කිරීම මගින් ඔහුගේ නිර්මාණ ජාත්‍යන්තර මට්ටමින් පවා සම්භාවනාවට ලක් වී ඇත.

මොස්කව් ,වැනීස් සහ ලොස් ඇන්ජලීස් වැනි ලොව පළමු පෙළේ ජාත්‍යන්තර සිනමා උළෙල කීපයක පතිරාජයන්ගේ චිත්‍රපට ප්‍රදර්ශනය කර ඇති අතර ජාත්‍යන්තර සම්මාන දිනා ඇත.

Image copyright Gamini Weragama
Image caption පතිරාජ තරුණ සිනමාකරුවන්ට ඔවුන් පූර්වාදර්ශයක්- ගාමිණී වේරගම

ප්‍රවීණ චිත්‍රපට විචාරක ගාමිණී වේරගම මෙසේ පවසයි.

"සිංහල කතා නාද සිනමා ඉතිහාසය ආරම්භයේ සිට බලන විට අපට සන්ධිස්ථාන දෙකක් හමු වෙනවා. ඉන් එකක් පැරණි සිනමා රීතිය වෙනස් කරමින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් යථාර්ථවාදී සිනමා රීතිය හඳුන්වා දීම. එහි දෙවැනි අදියර ආරම්භ වන්නේ ධර්මසේන පතිරාජයන් විසින් 1974 දී අහස් ගව්ව හඳුන්වා දීමෙන්. සිංහල සිනමාවේ අද දක්වාම එන්නේ එම දහරා දෙකයි"

සිංහල සිනමාවට ප්‍රවිෂ්ට වෙන සිනමාකරුවන් ඔවුන්ගේ සිනමා භාවිතාවන් වර්ධනය වෙමින් පවතින්නේ එම දහරා දෙක තුළ බවත් චිත්‍රපට විචාරක ගාමිණී වේරගම පෙන්වා දෙයි.

එම තත්ත්වය යටතේ සිංහල සිනමාවේ මූලික පුරෝගාමී ප්‍රවණතා බිහිකළ සිනමාවේදීන් දෙදෙනා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ ආචාර්ය ධර්මසේන පතිරාජ බව ගාමිණී වේරගම නිගමනය කරයි.

"සමාජය පිළිබඳව ගවේෂණය කරන ඒ අනුව තම ප්‍රකාශන සකස් කර ගනු ලබන තරුණ සිනමාකරුවන්ට ඔවුන් පූර්වාදර්ශ වුනා. පතිරාජගේ සිනමා භාවිතයේ දුටු දේශපාලන ප්‍රකාශනය, සමාජ භාවිතාව තවමත් තරුණ සිනමාකරුවන්ගේ භාවිතාව බවට පත් වී තිබෙනවා " ප්‍රවීණ චිත්‍රපට විචාරක ගාමිණී වේරගම පවසයි.

එම පදනම මත පිහිටා ධර්මසේන පතිරාජයන් සිංහල සිනමාවේ එක් භාවිතාවක පුරෝගාමියා ලෙස තමා දකිනබව චිත්‍රපට විචාරක ගාමිණී වේරගම බීබීසී සිංහල සේවය සමඟ සාකච්ඡාවේදී සඳහන් කළේය.

සබැඳි පුවත්;