සිංහල, මුස්ලිම් සමගි ජාතීන් දෙක අතර හදිසි ගැටුමේ ඉතිහාසය

  • 2018 මාර්තු 6
Image caption තෙල්දෙනිය ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ වුණේ සිංහල රියැදුරෙක් ප්‍රහාරයකට ගොදුරුව මරණයට පත්වීම්න් අනතුරුවය.

2018 පෙබරවාරි මාසයේ අන්තිම දින කීපය සහ මාර්තු මාසයේ ආරම්භය සටහන් වන්නේ ශ්‍රී ලාංකික සමාජයේ තවත් වාර්ගික ගැටුමක් සහිත කාල පරිච්ඡේදයක් හැටියටය.

මෙම පෙබරවාරි මාසයේ අන්තිම දිනවල අම්පාරේ සහ මාර්තු මාසයේ ආරම්භයේදීම මහනුවර දිස්ත්‍රික්කයට අයත් තෙල්දෙණිය සහ දිගන වැනි ප්‍රදේශයන්හි වාර්ගික මුහුණුවරක් ගත් ගැටුම් වාර්තා වීමට පෙරත් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වරින්වර මෙවැනි මහජන කැළඹිලි වාර්තා වී ඇත.

ශ්‍රී ලාංකික සමාජය බහු වාර්ගික සහ බහු ආගමික සමාජයක් වන බවට සහ එසේ නොවන බවට විවිධ තර්ක ඉදිරිපත් වෙමින් පවතින අතර 1948 දේශපාලන නිදහස දිනාගනු ලැබීමෙන් අනතුරුව සම්පාදනය කෙරෙන තුන්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් අතගසා ඇතත් එම කාරණය සම්බන්ධයෙන් ජාතියක් මට්ටමින් තවමත් එකඟතාවක් ඇති වී නැත.

එහෙත් ඒ අතරම සමාජය තුළ විවිධ ජන වර්ගවලට අයත් ප්‍රජා සමූහ ඉලක්ක කරගත් ගැටුම් රැළි වරින්වර ඇතිවෙමින් නැතිවී යමින් යළි මතු වෙමින් සමාජය මුසපත් කෙරෙමින් පවතී.

වාර්ගික ගැටුම් ඉතිහාසය

ශ්‍රී ලංකාවේ ගැටුම් ඉතිහාසයේ මහා චිත්‍රය නිර්මාණය කෙරෙන්නේ 1970 දශකයේ අගභාගයේ පටන් ආරම්භ වී 1983 ජූලි මාසයෙන් අනතුරුව සිවිල් යුද්ධයක් බවට පත් තරුණ දමිළ දේශපාලන අරගලය තුලිනි.

එම සිවිල් ගැටුම යුද්ධයෙන් පරාජය කොට ඇතත් තමන් ජනවර්ගයක් ලෙස මුහුණ දෙන ගැටළු සඳහා ස්ථිරසාර දේශපාලන විසඳුමක් නොලද බවට දෙමළ ඩයස්පෝරාව පමණක් නොව ජාතික දේශපාලනය තුළ ක්‍රියාත්මක වෙන බෙදුම්වාදය බැහැර කරන මධ්‍යස්ථ දමිළ දේශපාලන පක්ෂ පවා කියා සිටිති.

Image caption තෙල්දෙණිය ගැටුමේ දේපොළ විනාශය

දමිළ දේශපාලන අභියෝගයට නිත්‍ය පිළිතුරක් සොයා ගැනීම අතින් ශ්‍රී ලංකා බලධාරීන් දිගින් දිගටම සිය අශක්නුතාව ප්‍රදර්ශනය කරද්දී සිංහල සහ මුස්ලිම් වශයෙන් වාර්ගික මුහුණුවරක් ගනු ලබන තවත් බරපතළ බෙදීමක අද්දරට සමාජය පිය නගමින් පවතී.

සිංහල - මුස්ලිම් හොඳහිත අතරේ ගැටුම්

සියවස් ගණනාවක් දිවයින සිය නිවහන කරගත් ශ්‍රී ලාංකේය මුසල්මාන් ප්‍රජාව දමිළ ජනයා මෙන් විශේෂ ප්‍රදේශ සිය ජනාවාශ කරගත් ජන සමූහයක් නොව රටපුරා විසුරුණ ප්‍රජාවක් වීම පළමු විශේෂත්වයයි.

ඔවුන්ගෙන් සැලකිය යුතු කොටස නැගෙනහිර පළාතේ ජීවත් වුවත් ඔවුන් බහුතර ප්‍රජාව සමඟ මිශ්‍රව ජීවත්වන අතර, 1981 වසරේ දී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආරම්භ කරන තෙක් ඔවුන්ගේ දේශපාලනය ප්‍රධාන වශයෙන් බැඳී තිබුණේ මහා දේශපාලන පක්ෂ දෙක වූ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟය.

ශ්‍රී ලංකාවේ සිංහල-මුස්ලිම් මහා ගැටුමක් පළමු වරට වාර්තා වන්නේ 1915 වසරේදීය.

1915 සිංහල -මුස්ලිම් කෝලාහලය යනුවෙන් සමාජ දේශපාලන ඉතිහාසයට එක්ව ඇති යටත් විජිත පාලන සමයේ ඇති වූ එම ගැටුම අධිරාජ්‍ය පාලනයේ මර්දනකාරී යන්ත්‍රය හඳුනා ගැනීමට ඊට සම්බන්ධ දේශීය ජන කොටස් දෙකටම අවස්ථාවක් සලසන ලද අතර ඉන් අනතුරුව පෙරට ගිය ජාතික ව්‍යාපාරය තුළ සිංහල සහ මුස්ලිම් ප්‍රජා නායකයෝ එකමුතුව ක්‍රියාත්මක වූහ.

Image caption අලුත්ගම -විනාශ කරන ලද ගොඩනැගිල්ලක්

සිවිල් යුද්ධය සහ මුස්ලිම් ප්‍රජාව

වසර හතළිහකට ආසන්න කාලයක් බල පැවැත්වුන ශ්‍රී ලංකාවේ සිවිල් යුද ගැටුමේ දී උතුරු සහ නැගෙනහිර පළාත්වල මුස්‌ලිම් ප්‍රජාවත් යුද්ධයේ ගොදුරක් බවට පත්වනු දක්නට ලැබෙයි.

ඉන් තීරණාත්මක අවස්ථාවක් වන්නේ කොටි සංවිධානය විසින් උතුරු පළාතේ ජීවත් වූ මුස්ලිම් ප්‍රජාව හිටිහැටියේම නෙරපා හරිනු ලැබීමය.

කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් විසින් 1990 ඔක්තෝබර් මාසයේ කරන ලද නියෝගයක් අනුව උතුරේ මුස්ලිම් ජනයා වහාම එම පළාතෙන් ඉවත්ව යා යුතු වූ අතර හැත්තෑ දහසකට අධික මුස්ලිම් ජනයාට සිය දේපොළ අත්හැර රට මැදට සංක්‍රමණය වීමට සිදුවිය.

එදා උතුරුමැද සහ වයඹ පලාතට සංක්‍රමණය වූ එම මුස්ලිම් ජනයාගේ ප්‍රශ්න අදටත් නොවිසඳුන මට්ටමක පවතී.

ඒ අතරම කොටි සංවිධානය විසින් නැගෙනහිර පළාතේ එල්ල කරන ලද ප්‍රහාරවලදී සිය ගණනක් මුස්ලිම් ජන ජීවිත විනාශ කරනු ලැබුණ අතර දහස් ගණනක් ජනතාව අවතැන් භාවයට පත්වූහ.

කොටි සංවිධානය 1990 අගෝස්තු මාසයේ කාත්තන්කුඩි මුස්ලිම් පල්ලියකට එල්ල කරන ලද ප්‍රහාරයක දී එහි සිටි මුස්ලිම් බැතිමතුන් 150 කට ආසන්න පිරිසක් මරා දමනු ලැබුණි.

Image caption අම්පාරට පොලිස් ආරක්ෂාව

සිංහල -මුස්ලිම් මෑත කාලීන ගැටුම්

2018 පෙබරවාරි සහ මාර්තු අලුත්ම ගැටුම් හැරුන විට පසුගිය කාලය තුළ එම ප්‍රජා කණ්ඩායම් දෙකට අයත් පුද්ගල සමූහ මැදිහත් ගැටුම් කීපයක් ම වාර්තා වී ඇත.

2012 වසරෙන් අනතුරුව නැගෙනහිර පළාතේ වාර්තා වී ඇති එවැනි ගැටුම්වලට මුල් වූ ප්‍රධාන හේතු හැටියට සිංහල බෞද්ධ කණ්ඩායම් කෙරෙන් එල්ල කෙරුණ චෝදනා දෙකක් වුණේ බෞද්ධයන් ඉස්ලාම් දහමට හැරවීමට සහ පුරා විද්‍යාත්මක වටිනාකම් සහිත ඓතිහාසික බෞද්ධ පුදබිම් විනාශ කරනු ලැබීමය.

එහෙත් මුස්ලිම් සංවිධාන විසින් එම චෝදනා ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

2014 වසරේ අලුත්ගමින් පටන් ගෙන බේරුවල සහ දර්ගා ටවුන් වැනි ස්ථාන කීපයක දින කීපයක් පැතිර ගිය සිංහල-මුස්ලිම් ගැටුම්වලින් සිව් දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් විස්සකට ආසන්න පිරිසක් තුවාල ලද බව වාර්තා කරනු ලැබුණි.

උන්හිටිතැන් අහිමි ජන සංඛ්‍යාව දහසකට අධික වූ අලුත්ගම ගැටුම දේශපාලන වශයෙන් තීරණාත්මක කඩයිමක් වන්නේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව බලයේ සිටි ආණ්ඩුවෙන් ඈත්ව විපක්ෂය කරා ඇදී යමින් ආණ්ඩු විපර්යාසයකට පවා හේතු වීමෙනි.

2015 ජනවාරි මස අට වෙනිදා වත්මන් ශ්‍රී ලංකා ආණ්ඩුව බලයට පත් කිරීමට සුළු ජාතික ඡන්ද තීරණාත්මක බලපෑමක් වූ බව දේශපාලන විචාරකයන්ගේ විග්‍රහය වෙයි.

Image caption වාර්ගික ගැටුමේ තවත් විනාශයක්

එම ජනාධිපතිවරණයේ දී පරාජයට පත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය පරාජය 'සුළු ජාතික ඡන්ද නිසා' යයි ප්‍රසිද්ධියේම සඳහන් කර ඇත.

එවැනි පසුබිමක් යටතේ 2015 දී බලයට පත් නව පාලන තන්ත්‍රයේ එක් සහ වැදගත්ම ප්‍රතිඥාවක් වුණේ රට තුළ වාර්ගික ප්‍රභේදය මත මතුවෙන සියලු වෙනස්කම් අවසන් කරමින් සංහිඳියාව ගොඩ නැගීමය.

එහෙත් එවැනි ප්‍රාදේශීය ගැටුම් 2015න් පසුවත් වාර්තා වූ අතර එහි පසුබිමෙහි සිටි පුද්ගලයන් කවුරුන්ද යන්න සම්බන්ධයෙන් විවිධ නිර්වචන සැපයෙන ගිංතොට සිංහල-මුස්ලිම් ගැටුම වඩාත් සමාජ මාධ්‍ය අතර සංවාදයට පාත්‍ර වූ වියවුලක් විය.

2018 පෙබරවාරි 26 වෙනිදා අම්පාරෙන් වාර්තා වෙන ගැටුම ආරම්භ වුණේ මුස්ලිම් ජාතිකයකුට අයත් ආපන ශාලාවක ආහාරවලට 'වඳ පෙති' දමන බවට පැතිර ගිය කටකතාවකි.

ආහාරවලට එවැනි පෙති එකතු කරනු ලැබීම මගින් මිනිසුන් වඳ වීමක් සිදු කළ හැකි බවට කෙරෙන ප්‍රකාශනයන්හි කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

Image caption බෞද්ධ විහාරයක රාමදාන් සංග්‍රහයක්

අම්පාර ගැටුමෙන් හරියටම දවස් හතකට පසුව මහනුවර දිස්ත්‍රික්කයේ ඇති වූ ගැටුම් වලින් ජීවිත දෙකක් විනාශ වී ඇති අතර අතිවිශාල මහජන දේපොළ විනාශයක් ද වාර්තා වෙයි.

සබැඳි පුවත්;

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර