ගනේමුල්ල දැරියට පාසල අහිමිවීම; දෙපාර්ශ්වයම අධිකරණයට යන තත්වයක්

Image caption දැරිය ළමුන්ගේ උසුළු විසුළු නිසා පාසල් යාම ප්‍රතික්ෂේප කරන්නීය

සිය මව HIV ආසාදිතයකු වීම නිසා පාසල් ගමන ගැට‍ළුවක් වී ඇති ගම්පහ ගනේමුල්ල කනිෂ්ඨ පාසලක ශිෂ්‍යාවක් මුහුණ දී ඇති තත්වය තවත් සංකීර්ණ අතට හැරෙමින් පවතී.

එවැනි තත්වයක් උද්ගතව පවතින්නේ එම ප්‍රශ්නයට සම්බන්ධ පාර්ශ්ව විසින් විවිධ නිර්වචන ඉදිරිපත් කරනු ලැබීමත් සමඟය.

මෙම ප්‍රශ්නය පළමු වරට උද්ගත වුණේ 2017 වසරේ පෙබරවාරි මාසයේය.

එම වසරේ පළමු වරට පාසල අහිමි වූ දැරිය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මැදිහත්ව ලබා දුන් විසඳුමක් අනුව යළි සිය පාසල් ගමන ආරම්භ කළත්, විදුහල්පතිවරයා එම දැරියට අදාළ පසුගිය සිදුවීම් ඇතුළත් වීඩියෝ පටයක් පාසල තුළ මෑතදී ප්‍රදර්ශනය කිරීමත් සමඟ පාසලේ සෙසු ළමුන් උසුළු විසුළු කිරීම නිසා ඇයගේ අධ්‍යාපනය නැවත ඇනහිටි බව දැරියගේ මව පවසන්නීය.

එම සිදුවීම ගැන අදහස් දක්වන අදාළ පාසල් ශිෂ්‍යාව මෙසේ පවසන්නීය.

"ප්‍රින්සිපල් සර් ලොකු තිරයක් දාලා ගිය අවුරුද්දේ වෙච්ච ඒවා පෙන්නුවා . ඒ එක්කම ළමයි මට කිව්වා - අන්න ....ගේ ඒඩ්ස් කතාව පෙන්වනවා කියල"

ඒ අවස්ථාවේ විදුහලේ සිටි සිටි දැරියගේ පන්ති භාර ගුරුවරිය වන ගීතිකා තිලකරත්න දැරිය කරන ප්‍රකාශය අනුමත කරයි.

"මේ දරුවා ඒ රැස්වීමට යන්න කැමති වුනෙත් නැහැ .මම තමයි බලෙන්ම යැව්වේ .එතැනදී ගිය අවුරුද්දේ දර්ශන වගයක් පෙන්නුවා . ඒක වැරදියි . ඒ වගේ දේවල් නොපෙන්වා ඉන්නයි තිබුණේ. ඊට පස්සේ ළමයා යන්න ගියා.මට දැන ගන්න ලැබුණා - පාසලේ ළමයි ඇයට විහිළු කළ බව" පන්ති භාර ගුරුවරිය සඳහන් කළාය.

එම ප්‍රාථමික විදුහලේ ඉංග්‍රීසි විෂය භාර ගුරුවරියද එවැනි සිද්ධියක් වූ බව තහවුරු කරන්නීය.

එහෙත් විදුහල්පතිවරයා එම සියලු ප්‍රකාශන බැහැර කරයි.

Image caption "මගේ ප්‍රාර්ථනාව ශිෂ්‍යත්වය සමත් වීමයි"

එම සිද්ධිය සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය අදාළ විදුහල්පතිවරයාගෙන් දීර්ඝ වශයෙන් කරුණු විමසීමක් කළ අතර "දැරියගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සුරක්ෂිත කිරීම සහතික කරන " බව ඔහු අවධාරණයෙන් කියා සිටියේය.

"දැරිය යළිත් පාසලට එවන" ලෙස විදුහල්පතිවරයා ඇයගේ මවගෙන් ඉල්ලීමක් ද කරයි.

"මගේ උවමනාව ළමයා යළිත් පාසලට ගැනීම. ඒ අරමුණ ඇතිව දැරියගේ මව කලාප අධ්‍යාපන කාර්යාලයට කැඳෙව්වා. ඒත් ඇය ආවේ නැහැ" විදුහල්පතිවරයා පවසයි.

තමන්ට කලාප අධ්‍යාපන කාර්යාලයට තනිවම ගොස් ප්‍රශ්නය විසඳා ගත නොහැකි බව මේ අතර දැරියගේ මව කියා සිටින්නීය.

"ඊයේ වාර විභාගය පටන් ගත්තා . දරුවාට විභාගය අහිමි වුනා. විදුහල්පතිවරයාට විරුද්ධව සාක්ෂි තිබියදීත් මේ රටේ සියලු ආයතන නිහඬයි .අපට ගම්පහ පොලිසියෙන් එන්න කියල තිබුණ . උපවාස කළා කියල ප්‍රින්සිපල් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරිය පොලිසියට පැමිණිල්ලක් කරලා තියෙනවය කියලා .අපි මොකද්ද කල වැරැද්ද?"දැරියගේ මව ප්‍රශ්න කරන්නීය.

පළාත් අධ්‍යාපන ලේකම් ප්‍රතිචාරය

මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඇතුළු ඉහළ මට්ටමේ නිලධාරීන් පිරිසක් අදාළ පාසලට ගොස් විමර්ශනයක් සිදුකළ බවත් දැරියට එම පාසලේ අධ්‍යාපනය ලැබීමේ කිසිදු බාධාවක් නොමැති බව එහිදී පෙනී ගිය බවත් බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් එස්.ජී. විජයබන්දු මේ අතර පවසයි.

දරුවාට වෙනත් ජනප්‍රිය පාසලක් ලබා ගැනීමේ අරමුණ ඇතිව කලාප අධ්‍යාපන කාර්යාලය සහ වෙනත් පොදු ස්ථාන ආදියේ උද්ඝෝෂණ කරමින් සිටින බවත් ලේකම්වරයා පවසයි.

Image caption දැරිය ජනාධිපතිවරයාට සිය ප්‍රශ්නය යොමු කරමින්

සාකච්ඡා සඳහා පැමිණෙන ලෙස දැනුම් දුන්නත් එම මව නොපැමිණෙන බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

එහෙත් විදුහල්පතිවරයාගේ ක්‍රියාවන් සම්බන්ධයෙන් දැරියගේ පන්ති භාර සහ ඉංග්‍රීසි විෂය භාර ගුරුවරියන් විසින් කරනු ලබන ප්‍රකාශන පිළිබඳව සඳහන් කළ විට ඊට පිළිතුරු දුන් බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් එස්.ජී. විජයබන්දු "එවැනි සාක්ෂි ඇත්නම් මව විසින් හෝ වෙනත් පාර්ශ්වයක් ඒ ගැන ඉදිරිපත් කළ යුතුව ඇතැයි" පෙන්වා දුන්නේය.

ඒ අතරම දරුවා පාසල් නොයවා නිවසේ රඳවා ගනු ලැබීම සම්බන්ධයෙන් එම මවට එරෙහිව ආනිවාර්ය අධ්‍යාපන පනත යටතේ නඩු පැවරීම සඳහා අවශ්‍ය නීතිමය පියවර ගැනීමට තමා උපදෙස් දී ඇති බවත් බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම්වරයා ප්‍රකාශ කරයි.

තම දියණිය මුහුණ දී ඇති ප්‍රශ්නය සම්බන්ධයෙන් තමන් ද අධිකරණය ඉදිරියට යන බවත් ඒ සඳහා උදව් වීමට නීතිඥවරියක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව සිටින බවත් මේ අතර පාසල අහිමි දැරියගේ මව පවසන්නීය.

සබැඳි පුවත්;

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර