කොරියානු නායක සාකච්ඡා සඳහා දින නියම වෙයි

Image copyright EPA
Image caption කොරියානු රාජ්‍යයන් දෙකේ නියෝජිතයෝ සාකච්ඡා සඳහා එකඟ වෙමින්

කොරියානු රාජ්‍යයන් දෙකේ නායකයන් ලබන අප්‍රියෙල් 27 වෙනි දින පළමුවරට මුණ ගැසෙන බව ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

එවැනි නායක හමුවක් සිදු කෙරෙන්නේ වසර දහයකට අධික කාලයකට පසුවය.

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ දකුණු කොරියාවේ ජනාධිපති මූන් ජේ ඉන් දෙරට අතර දේශසීමාවේ පිහිටි 'පන්මුන්ජොම්' (Panmunjom) ගම්මානයේ දී මුණ ගැසෙනු ඇතැයි දෙරට විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ නිවේදනයක දැක්වෙයි.

එවැනි සමුළුවක් සංවිධානය කිරීම සඳහා දෙරටේ නිලධාරීන් මුණ ගැසීමෙන් අනතුරුව එම ඒකාබද්ධ නිවේදනය නිකුත් කරනු ලැබුණි.

උතුරු කොරියානු නායකයා පසුගියදා 'බේජිං' නගරයේ සංචාරයක නිරත වෙමින් චීන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ අතර, එයින් දවසකට පසුව එම නිවේදනය නිකුත් කර ඇත.

'බේජිං සාකච්ඡාවන්හිදී අදහස් දැක්වූ උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික නිරවි කලාපයක් බවට පත් කිරීමේ සිය සූදානම දිගින් දිගටම ඉදිරිපත් කළේය.

Image copyright AFP
Image caption කිම් ජොන් උන් පසුගියදා උතුරු කොරියාවට ගිය දකුණු කොරියානු නියෝජිතයන් සමඟ

තමාට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුණ ගැසීමට අවශ්‍ය කරන බව ඔහු මෑතදී ප්‍රකාශ කර ඇත.

ඇමෙරිකානු විදේශ පිළිවෙතේ විශාල වෙනසක් සනිටුහන් කරමින් ජනාධිපති ට්‍රම්ප් එම ඉල්ලීම පිළිගෙන ඇති අතර ඔවුන් දෙදෙනා ලබන මැයි මාසයේ මුණ ගැසෙනු ඇතැයි සැලකේ.

එහෙත් චීනයේ සිටින ඇමෙරිකානු තානාපතිවරයා බීබීසියට අදහස් දක්වමින්, න්‍යෂ්ටික නිරවිකරණය සම්බන්ධයෙන් කිම් ජොන් උන් ඉදිරිපත් කරන අදහස් තමාට විශ්වාස කළ නොහැකි බව කියා ඇත.

"කොරියානු රාජ්‍යයන් දෙක අතර සබඳතා දෙස බලන විට ගෙවීගිය දවස් අසූව ඇතුළත අනපේක්ෂිත මට්ටමින් බොහෝ දේවල් සිදුව තිබෙනවා" උතුරු කොරියානු පාර්ශ්වයේ ප්‍රධාන සාකච්ඡාකරු වන රි සොන් ග්වොන් (Ri Son-gwon) පැවසීය.

Image copyright Getty Images
Image caption ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොන් උන් අතර සාම සාකච්ඡා පිළිබඳව දකුණු කොරියානු ප්‍රතිචාරයක්

1953 කොරියානු යුද්ධය නිමාවේ අත්සන් තබන ලද සටන් නතර කිරීමේ ගිවිසුමෙන් අනතුරුව දෙරටේ නායකයන් මුණගැසෙන තුන්වෙනි අවසථාව මෙයයි.

දෙරටේ නායකයන් අන්තිම වරට හමුවුනේ 20017 වසරේය.

උතුරු කොරියාවේ හිටපු නායක කිම් ජොන් ඉල්(Kim Jong-il) සහ දකුණු කොරියාවේ එවකට ජනාධිපති රෝහ් මෝ හය්යුන් (Roh Moo-hyun) අවසන් වරට හමු වූ නායකයන් දෙදෙනා වෙති.

සබැඳි පුවත්;

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර