ඔස්ට්‍රේලියාව: මොහොමඩ් කමර් නිසාම්ඩීන් සහ "ISIS අනුබද්ධ ත්‍රස්ත ප්‍රහාර සැලසුම් කළ" සටහනේ අත්අකුරු

Image caption බෞද්ධ ස්වාමීන් වහන්සේ පිරිසක්ද, නිසාම්ඩීන් මූලික අධ්‍යාපනය ලද කොල්ලුපිටිය ශාන්ත තෝමස් ප්‍රාථමික පාසලේ පියතුමන් පිරිසක්ද නිහඬ විරෝධතාවට එක්ව සිටියහ

සිඩ්නි නගරයේ තෝරාගත් "වැදගත්" පුද්ගලයන් සහ ස්ථානවලට ප්‍රහාර එල්ල කිරීම සඳහා සැලසුම් කරන ලදැයි සැක කරමින් ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකු වන විසිපස් හැවිරිදි මොහොමඩ් කමර් නිසාම්ඩීන් පසුගිය අගෝස්තු 30 වැනිදා ඔස්ට්‍රේලියාවේදී එරට පොලිස් අත්අඩංගුවට පත්විය.

ඉදිරි මාස කීපය තුළ "ISIS අනුබද්ධ" ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළ තොරතුරු ඇතුළත් වී ඇතැයි සැලකෙන සටහන් පොතක් හමුවූ ඔහුගේ මිතුරෙක් ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුවූ බව ඔස්ට්‍රේලියාවේ The Sydney Morning Herald පුවත්පත වාර්තා කර තිබිණි.

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් උපාධි අපේක්ෂකයෙකු ලෙස අධ්‍යාපනය ලබමින් සිටි කමර් නිසාම්ඩීන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එරට විශ්ව විද්‍යාලයකට අනුයුක්තව රැකියාවක නිරත වී සිටියේය.

කවුද මේ කමර් නිසාම්ඩීන් ?

කොළඹ ප්‍රධාන පෙළේ ධනවත් මුස්ලිම් ජාතික පවුලක ඉපදුණු කමර් නිසාම්ඩීන්, කතෝලික පාසලක් වන කොල්ලුපිටිය ශාන්ත තෝමස් ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීය.

ඉන්පසු කොළඹ ආසියානු ජාත්‍යන්තර පාසලේ උසස් අධ්‍යාපනය ලබා 2015 දී විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා ඔහු ඔස්ට්‍රේලියාව බලා පිටත් වී තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ ජනාධිපති නීතිඥයෙකු වන ෆායිස් මුස්තාෆා සහ වර්තමාන ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා අත්අඩංගුවේ පසුවන කමර් නිසාම්ඩීන්ගේ සමීප ඥාතීහුය.

කමර් නිසාම්ඩීන්ගේ පාසල් මිතුරන් පවසන පරිදි ඔහු සාමාන්‍ය ලෙස ආගම අදහමින් කෙලි දෙලෙන් කාලය ගෙවූ තරුණයෙකි.

ඔහු ISIS වැනි සංවිධානයකට සම්බන්ධවීමට තරම් අන්තවාදී හෝ රැඩිකල් අදහස් දැරූ අයෙකු යයි විශ්වාස කළ නොහැකි බව පවසන ඔවුහු, අත්අඩංගුවට පත්වීමට සති කීපයකට පෙර ද ඔහු ශ්‍රී ලංකාවට පැමිණ ඉතා විනෝදයෙන් කාලය ගතකළ බව ද පවසති.

Image caption කමර් නිසාම්ඩීන් අන්තවාදී අදහස් ඇති අයකු නොවන බව පෙන්වීම පිණිස ඔහු බටහිර ගීත ගායනා කරන දර්ශන ඇතුළත් වීඩීයෝ පවා ඔහුගේ මිතුරන් විසින් අන්තර්ජාලයට මුදාහරිනු ලැබ තිබේ

කමර් නිසාම්ඩීන් අන්තවාදී අදහස් ඇති අයකු නොවන බව පෙන්වීම පිණිස ඔහු බටහිර ගීත ගායනා කරන දර්ශන ඇතුළත් වීඩීයෝ පවා ඔහුගේ මිතුරන් විසින් අන්තර්ජාලයට මුදාහරිනු ලැබ තිබේ.

කොළඹදී නිහඬ විරෝධතාවක්

කමර් නිසාම්ඩීන්ට සහාය පළකරමින් ඔහුගේ ඥාතීන්, මිතුරන් සහ සිවිල් ක්‍රියාකාරීන් පසුගිය අඟහරුවාදා කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී නිහඬ විරෝධතාවක නිරත වූහ.

නිසාම්ඩීන්ගේ පවුලට සමීප බෞද්ධ ස්වාමීන් වහන්සේ පිරිසක්ද, නිසාම්ඩීන් මූලික අධ්‍යාපනය ලද කොල්ලුපිටිය ශාන්ත තෝමස් ප්‍රාථමික පාසලේ පියතුමන් පිරිසක්ද මෙම නිහඬ විරෝධතාවයට එක්ව සිටියහ.

"සැකයකින් තොරව කමර් හොඳ පුරුෂයෙක් ලෙස, යුක්තිගරුක දරුවෙක් ලෙස අපේ පාසලේ ඉගනුම් ලැබුවා. ඔහුට මේ වෙලා තියෙන ඛේදවාචකය ගැන මුළු පාසලම කම්පනයට පත් වෙලා ඉන්නේ. ඔහුට අවශ්‍ය සාධාරණය, යුක්තිය ඉතා ඉක්මනින් ඔස්ට්‍රේලියානු රජය ඉෂ්ට කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා," විරෝධතාවට එක්ව සිටි කොල්ලුපිටිය ශාන්ත තෝමස් ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති දුශාන්ත රොද්‍රිගෝ පියතුමා බීබීසි සිංහල සේවයට පැවසූහ.

විරෝධතාවේ නියැලුණ පිරිස "කමර් නිර්දෝශියි", "දවස් 18යි තවම පවුලට ඔහු හමුවෙන්න අවස්ථාවක් නැහැ", "සටහන් පොතේ අත්අකුරු ඔහුගේ නොවේ", "අත්අකුරු පරීක්ෂා කරන්න" යනුවෙන් සඳහන් පුවරු රැගෙන පැය කීපයක් නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ රැඳී සිටියහ.

එහිදී නිසාම්ඩීන්ගේ ඥාතියෙකු වන විශේෂඥ වෛද්‍ය කලීල් කාසිම් මාධ්‍ය වෙත සිය අදහස් දැක්විය.

"අපිට ඔස්ට්‍රේලියාවේ නීති පද්ධතිය ගැන පූර්ණ විශ්වාසයක් තිබෙනවා. ඔහු නිවැරදිකරු බව එහිදී ඔප්පුවේවි. අපි විමර්ශකයන්ගෙන් ඉල්ලනවා ඇත්තටම මේ දේවල් සටහන් පොතේ ලියපු කෙනාව අත්අඩංගුවට ගන්න කියලා. මොකද ඒ වැරදිකරු නිදහසේ සිටීම ඔස්ට්‍රේලියාවේ ජීවිතවලට මෙන්ම දේපළවලටත් හානි වෙන්න පුළුවන්."

අගෝස්තු දෙවෙනිදා සිට ඉවත්වූ කමර්ගේ පැරණි කාර්යාල ස්ථානයේ තිබී එකී සටහන් පොත හමුවී ඇති අතර, එහි ඇති අත්අකුරු තමන්ගේ නොවේ යැයි කමර් පැවසූ බව වෛද්‍ය කලීල් කාසිම් පැවසුවේය.

සති තුනකට ආසන්න කාලයක් ගත වුවත් කමර් නිසාම්ඩීන් හමුවීමට හෝ දුරකතනයෙන් කතා කිරීමට අවස්ථාව ලබා නොදීම පිළිබඳ තම පවුල ඉතා කනස්සල්ලෙන් පසුවන බව වෛද්‍ය කලීල් කාසිම් තවදුරටත් පැවසීය.

සැකකරු හමුවූ ශ්‍රී ලාංකික තානාපති නිලධාරීන්

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි දැඩි ආරක්‍ෂිත බන්ධනාගාරයක අනිකුත් සිරකරුවන්ගෙන් වෙන්කර කමර් නිසාම්ඩීන් රඳවා සිටී.

ත්‍රස්ත චෝදනා ලැබූ දරුණු ගණයේ සැකකරුවන් රඳවා සිටින මෙම බන්ධනාගාරයට ලෙහෙසියෙන් කිසිදු පුද්ගලයකුට ඇතුළු වීමට අවස්ථාවක් නොමැති බව බීබීසී වෙත අදහස් දැක්වූ මෙම සිදුවීම වාර්තා කරන ඔස්ට්‍රේලියානු මාධ්‍යවේදියෙක් පැවසීය.

එම බන්ධනාගාරයට ඇතුළුවන පුද්ගලයන්ගේ පවා තොරතුරු විශේෂ විමර්ශනයට ලක්කිරීමට ඕස්ට්‍රේලියානු බලධාරීන් ක්‍රියාකරන බැවින්, කමර් නිසාම්ඩීන්ගේ ඥාතීන් ඔහු හමුවීම පිණිස අවසර ඉල්ලා ඇතත් ඒ සඳහා තවමත් අවසරය හිමිවී නොමැති බව ද මාධ්‍යවේදියා කියා සිටියේය.

Image copyright Getty Images

මේවන විට කමර් නිසාම්ඩීන්ගේ නීතිවේදීන් ඔහු හමුවී තිබෙන අතර, මෙම නඩුවේ තොරතුරැ ඉල්ලා ඔවුන් අධිකරණය වෙත විශේෂ ඉල්ලීමක් සිදු කිරීමට නියමිත බව ද වාර්තාවේ.

සිඩ්නි නුවර සිටින ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ලාල් වික්‍රමතුංග ද දෙවරක් සැකකරු කමර් නිසාම්ඩීන් හමුවී තිබේ.

"බදාදා උදැසන මම ඔහු හමුවුනා, ඔහුට අවශ්‍ය කන්සියුලර් සේවාවන් අපි ලබාදෙනවා තානාපති කාර්යාලයක් ලෙස. ඔහු පවසන්නේ ඔහු නිවැරදිකරු කියල. ලබන 24 වැනිදා ඔහුව උසාවියට ඉදිරිපත් කරාවි," ලාල් වික්‍රමතුංග බීබීසි සිංහල සේවයට පැවසීය.

කමර් නිසාම්ඩීන් දැඩි අවදානමක් සහිත සිරකරුවෙකු ලෙස නම්කර ඇති බැවින් ඔහු හමුවීම පහසු කාර්යක් නොවන බවද සිඩ්නි නුවර සිටින ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා සඳහන් කළේය.

වැරදි ලෙස අත්අඩංගුවට ගත් තමන් නිවැරදිකරු බව ඉක්මනින්ම සනාථ වී නිදහස්වනු ඇතැයි යන්න සැකකරුගේ විශ්වාසය බවත් ලාල් වික්‍රමතුංග කියා සිටියේය.

සටහන් පොතේ තිබු අකුරු කමර්ගේ නොවේය යන ස්ථාවරයේ සිට සැකකරු කමර් නිසාම්ඩීන්ගේ නීතිවේදීන් කටයුතු කරන අතර ඕස්ට්‍රේලියානු විමර්ශකයන් ලබන 24 වෙනි දින ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු අධිකරණය වෙත ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂිතය.

විශේෂයෙන්ම මෙම ශ්‍රී ලංකික ශිෂ්‍යයාට එරෙහිව මේවන විට ඔස්ට්‍රේලියාවේ වෙනත් කිසිදු අපරාධ චෝදනාවක් එල්ල වී නොමැති බව ඕස්ට්‍රේලියානු පොලිසිය පවසා තිබේ.

බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ මෙම සිදුවීම වාර්තා කරන ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදියා පැවසුවේ කමර් නිසාම්ඩීන්ගේ සටහන් පොතට අමතරව ඔහු සම්බන්ධයෙන් තවත් සාක්ෂි ඇතිනම් පොලිසිය ඒවා 24 වැනි දින ඉදිරිපත් කරනු ඇති බවය.

චෝදනා මොනවාද?

සැකකරුගේ ප්‍රහාරවල ඉලක්කගත පුද්ගලයන් ලෙස හිටපු අගමැති මැල්කම් ටර්න්බුල්, හිටපු විදේශ ඇමති ජුලී බිශොප් සහ ඔවුන්ගේ ලිබරල් පක්ෂ සගයෙකු වන බ්‍රොන්වින් බිශොප් ද සිටි අතර සිඩ්නි ඔපෙරා රංග ශාලාව, පොලිස් සහ දුම්රිය ස්ථානවන ද වන බව මාධ්‍ය වාර්තාවල දැක්වේ.

පසුගිය වසර කීපය පුරා ඔහු ශ්‍රී ලංකාවට මුදල් යැවීමට අමතරව වෙනත් ගනුදෙනුවල යෙදී ඇත්දැයි යන්න පිළිබඳව ද පොලිසිය විමර්ශනය කරමින් සිටියි.

ඔස්ට්‍රේලියාවේ ප්‍රතිචාරය

ඔස්ට්‍රේලියානු අපරාධ නඩු සංග්‍රහය යටතේ ත්‍රස්තවාදයට සහාය දීම පිණිස ලේඛන සැකසීමට සම්බන්ධ චෝදනාවක් කමර් නිසාම්ඩීන්ට එරෙහිව ගොනු කර ඇති බව කොළඹ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය පවසයි.

ඒ සඳහා වැරදිකරු වුවහොත් ඔහුට උපරිම වසර 15ක සිර දඬුවමක් හිමිවනු ඇති බවත් ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළේය.

එවැනි වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයෙකුට;

  • සිය ඥාතියෙකු හෝ මිතුරෙකු සමග
  • සහ සිය නීතිවේදියා සමග අදහස් හුවමාරු කරගැනීමට අයිතිය තිබෙන බව ද බීබීසී සිංහල සේවය යොමු කළ ඊමේල් පණිවුඩයකට ප්‍රතිචාර දක්වමින් ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය සඳහන් කර තිබුණි.

කෙසේ වුවත් අදාළ සැකකරු ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු නොවේ නම් සිය රටේ කන්සියුලර් කාර්යාලය සමග අදහස් හුවමාරැ කරගැනීමට ඔහුට/ඇයට අයිතිය තිබේ.

අධිකරණය විසින් අදාළ සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීමෙන් අනතුරුව පමණක් ඥාතීන්, මිතුරන් ඇතුළු පුද්ගලයන්ට සැකකරු හමුවිය හැකිය.

ඔස්ට්‍රේලියාව මානව හිමිකම් සම්බන්ධ ජාත්‍යන්තර වගකීම්වලින් බැඳී සිටින අතර, නීතියේ ආධිපත්‍යයට ගරු කරන බව ද පවසන මහකොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරන්නේ අදාළ කරුණ දැන් අධිකරණය ඉදිරියේ පවතින්නක් බැවින් ඒ සම්බන්ධයෙන් ඊට වඩා අදහස් දැක්වීම යෝග්‍ය නොවන බවය.