කුවේට් දේශයේ සේවය කළ මේ ශ්‍රී ලාංකිකයින් ගැන තොරතුරු දන්නවාද?

Image caption ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මාධ්‍යයට නිකුත් කළ ඡායාරුප

කුවේට් දේශයේ රැකියාව සඳහා පිටත්ව ගිය ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකු පිළිබඳව මේ වන විට කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ඡායාරූපයේ වමේ සිට දකුණට පිළිවෙලින්, නාවලපිටියේ වාසය කළ පී වයි තිලකානි පීරිස්, මහියංගණයේ පදිංචිව සිට විදේශගත වූ ඩී සිරියාවතී, ගුන්නෑපානේ පදිංචිව සිටි සී එම් නවාස්, උඩවෙල පදිංචිකාරියක වූ පී පී ඒ එස් උදයකුමාරි ඔවුන් සිව් දෙනාය.

1995 සිට 2016 දක්වා විවිධ වර්ෂවල ඔවුන් රැකියා සඳහා කුවේට් දේශය බලා පිටත්ව ගොස් තිබේ. එම ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිළිබඳව තොරතුරු ලබාගැනීම සඳහා උපකාර කරන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මෙම ශ්‍රමිකයින් පිළිබදව තොරතුරු දන්නා අයෙක් වේ නම් 0114380954/ 0112878244 යන දුරකතන අංකයන් වෙත දැනුම් දෙන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලා සිටී.

විදේශ සේවා සම්බන්ධ හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මීට ඉහතදී බීබීසී සිංහල සේවය සමග සඳහන් කළ පරිදි, සවුදි අරාබියෙන් පසුව වැඩිම ශ්‍රී ලාංකිකයන් පිරිසක් සේවය කරන්නේ කුවේට් රාජ්‍යයේය.

15,447 කට ආසන්න ශ්‍රී ලාංකික ප්‍රජාවක් "නියමිත වීසා බලපත් නොමැතිව නීති විරෝධී මට්ටමින්" කුවේටයේ රැඳී සිටින බව හිටපු අධිකරණ සහ විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල මේ වසර මුලදී සඳහන් කළාය.

එසේ වීසා බලපත‍් රහිතව කුවේටයේ ජීවත් වෙන ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන්ට එරටින් පිටවීම සඳහා ප්‍රකාශයට පත් කර තිබුණ පොදු සමා කාලය ප්‍රයෝජනයට ගනිමින් හාරදහසකට ආසන්න ශ්‍රමිකයන් පිරිසක් යළි සියරට පැමිණ හෝ පැමිණීමට කටයුතු කරමින් සිටි බව ද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ වසර මුලදී සඳහන් කළේය.

නීති විරෝධී ලෙසින් සිය රට තුළ රැඳී සිටින පුද්ගලයන් වෙනුවෙන් මුලින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබුණ පොදු සමා කාලය පෙබරවාරි 22 දින දක්වා අවසන් විය යුතුව තිබුණ නමුත් පසුව එය අප්‍රේල් 22 දින දක්වා දීර්ඝ කෙරිණ.

තවත් කියවන්න: