ශ්‍රී ලාංකික කාන්තාව හා අයවැය - "මැති ඇමති වියදම් අඩු කර සහන දෙන්න"

"අතට වෙරළු ඇහිඳ ගෙනේ කියන කවියේ අවසන් පදය තමයි "එයි අම්මා විගසකිනේ". නමුත් දැන් අම්මලාට එහෙම ඉක්මනට ගෙදර එන්න බෑ. ජීවන බර දරන්න බැරිව බොහෝ අම්මලා රැකියාවල් කරන්න යනවා," මෙසේ පැවසුවේ ශ්‍රී ලාංකික කාන්තාව රට තුළ මුහුණ දී ඇති ආර්ථික ගැටලු ගැන කෙටි විවරණයක් කළ ගුරුවරියකි.

කළුතර, දොඩංගොඩ පදිංචි තිලිණි සමරවීර නම් ඇය බීබීසී සිංහල සේවයට මෙසේ පැවසුවේ එළැඹෙන අයවැය යෝජනාවලිය තුළින් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි විමසූ විටය.

පසුගිය වසර අවසාන කාලයේ පැවති දින 52 දේශපාලන බල අර්බුදයෙන් පසුව බිහි වූ වර්තමාන රජයේ ප්‍රථම අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් හෙට (මාර්තු 5) වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමට නියමිතය.

විශේෂඥයින් පවසන්නේ ශ්‍රී ලංකා ආර්ථිකය; ජීවන වියදම ඉහළ යාම, අස්ථාවර විදේශ විනිමය අනුපාත, විදේශ ආදායම පහත යාම සහ ගෙවිය යුතු ණය ප්‍රමාණය ඉහළ යාම යන කරුණු නිසා යම් අස්ථාවරත්වයක් පෙන්නුම් කරන අවස්ථාවක අයවැය යෝජනාවලියක් ඉදිරිපත් කිරීම දැඩි අභියෝගයක් බවය.

"මේ කාරණා නිසා 2019 අයවැය යෝජනා ජනතා හිතකාමී ලෙස ඉදිරිපත් කිරීම රජයට අභියෝගයක් වේවි,"

එසේ පැවසුවේ කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්නය.

"රාජ්‍ය සේවකයින් පඩි වැඩි වීමකුත් බලාපොරොත්තු වෙනවා." යැයි ද ඔහු සඳහන් කළේය.

මහ බැංකු වාර්තා අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ මිලියන 1.4 කට ආසන්න පිරිසක් සේවයේ යෙදෙති.

මැතිවරණ වසරක්

"කොපමණ ප්‍රශ්න තිබුණත් මෙම වසර ඡන්ද වසරක් විය හැකි නිසා හිතකර යෝජනා කිහිපයක් හෝ ඊට ඇතුළත් වෙයි කියලා ජනතාව බලාපොරොත්තුවෙන් ඉන්නේ කියලා හැඟෙනවා," මහාචාර්ය අබේරත්න පැවසීය.

විශේෂයෙන් ම ලබන මැයි මසට පෙර පළාත් සභා මැතිවරණය පවත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය දා අවධාරණය කළේය.

එසේ ම ජනාධිපතිවරණය ද 2020 ජනවාරි මස නිම වීමට පෙර පැවැත්විය යුතුය.

මෙම මස මුලදී සභාගත කළ විසර්ජන කෙටුම්පතට අනුව, 2019දී අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව 4.8% කි.

ඒ අනුව මෙම වසරේ රාජ්‍ය වියදම රුපියල් බිලියන 4,470ක් ලෙසත් රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2,390ක් ලෙසත් ඇස්තමේන්තුගත කර තිබේ.

විසර්ජන පනතේ රාජ්‍ය වියදමින් රුපියල් බිලියන 2,200ක් ම වෙන් කර තිබෙන්නේ රාජ්‍ය ණය ගෙවීම සඳහාය.

2019 අයවැයෙන් ජනතාව අපේක්ෂා කරන්නේ කුමක් ද? විශේෂයෙන් ම නාගරික මධ්‍යම පාන්තික පිරිස්, ව්‍යාපාරික ප්‍රජාව සහ ධනවතුන් අයවැය ගැන උනන්දුවක් දක්වන බවක් පෙනුණ ද දුෂ්කර ප්‍රදේශවල ජනතාව පවසන්නේ තමන් "සටන් කරන්නේ" තමන්ගේ එදිනෙදා වේල පිරිමසා ගැනීමට බව බීබීසී සිංහල සේවයේ වාර්තාකරුවන් ප්‍රදේශ කිහිපයක කළ විමසීම්වලදී පෙනෙන්නට විය.

ඇතැමුන් වෙතින් දිස් වූයේ ඉච්ඡා භංගත්වයකි.

ඇයට දැනෙන්නේ කෙසේ ද?

"අපට කොයි ආණ්ඩුව ආවත් කිසි ම සෙතක් වෙලා නෑ. අයවැයෙන් කිසි ම සහනෙකුත් අපට ලැබිලා නැහැ. වගා පාළු වෙලා තියෙන්නේ. කිසි ම දෙයක් නැති නිසා අපි ජීවත් වෙන්නෙත් අමාරුවෙන්. ඒ නිසා සහන ලබා දෙන්න කියල තමයි අපි ඉල්ලන්නේ. ලැබිලා තියෙන සහනවත් අපිට ලැබෙන්නේ නැහැ මේ දුෂ්කර පළාත්වලට" යැයි වව්නියාව බෝගස්වැව සුනේත්‍රා කුමාරි පැවසුවාය.

පසුගිය පෙබරවාරි 22 මුදල් අමාත්‍යාංශයේ පැවති "උතුරු සංවර්ධන රාමුව" එළිදැක්වීමේ අවස්ථාවට එක් වූ මුදල් අමාත්‍ය මංගල සමරවීර පෙන්වා දුන්නේ, තමා 2018 අයවැය හරහා උතුරේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් බිලියන 12ක් වෙන් කළ බවය.

නමුත් එම ප්‍රදේශවල ඇතැම් ජනතාව පෙන්වා දෙන්නේ රජය ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති හරහා තමන්ගේ එදිනෙදා ජීවන ගැටලුවලට පිළියමක් ලැබී නැති බවය.

Image caption "අපි ගැන කවුරුත් බලන්නේ නෑ" - ශ්‍රියානි මංගලිකා

ශ්‍රියානි මංගලිකා වවුනියාව කුඩාකච්චිකොඩි ගම්මානයේ වෙසෙන දෙදරු මවකි. ඇයගේ ප්‍රධාන ජීවනෝපාය කුලී වැඩය.

"එන ආණ්ඩු හැම ආණ්ඩුවක් ම එක වගේ. කිසි ම ආණ්ඩුවක් වැඩක් නැහැ. අර පැත්තට අදිනවා මේ පැත්තට අදිනවා. අනේ ඒවායින් තැලෙන්නේ අහිංසක මිනිස්සු තමා."

අයවැය යෝජනා ගැන අවසාන තීරණයක් ගැනීමට පෙර දුෂ්කරතාවලින් පිරුණු ගම්මානවල වෙසෙන දුප්පත් ජනතාවගේ අවශ්‍යතා ගැනත් බලධාරීන් අවධානය යොමු කළ යුතු බව කුලී වැඩපළින් සිය පවුල නඩත්තු කරන කුඩාකච්චිකොඩි ගම්මානයේ ජස්මින් ෆරීඩා පැවසුවාය.

Image caption "පොඩි මිනිස්සුන්ට ලැබෙන දෙයක් නැහැ" - ජස්මින්

"මම ඉතා දුෂ්කර ගමක ඉන්නේ. මේ ගමේ ජීවත් වෙන්නෙත් කුලී වැඩ කරලා. මොන ආණ්ඩුවෙන් ආවත් මොන රජයෙන් ආවත් අපිට ලැබෙන දෙයක් නැහැ. කවුරු ආවත් අපිට කරන දේකුත් නැහැ."

"හාල්වල මිල බලන්න දැන්. ගාණ වැඩියි. ඒ වුණාට අපිට ලැබෙන දෙයක් නැහැ. ලොකු ලොක්කන්ට ඕන විදියට තමයි ලැබෙන්නේ. පොඩි මිනිස්සු තැලෙනවා විතරයි කවදාවත් පොඩි මිනිස්සුන්ට ලැබෙන දෙයක් නැහැ. ඡන්දෙ නම් ඉල්ල ගෙන එනවා." යැයි ද ඇය සඳහන් කළාය.

''මම ගෙදර ඉඳල සුළු වෙළඳාමක් කරගෙන යන්නේ. අද රටේ තත්ත්වය අනුව, ළමයින්ට වෙන අපයෝජන ගැන ඇහෙනකොට දරුවො ගෙදර දාලා අපිට රස්සාවක් කරන්න දුරකට යන්න බෑ. ඒක නිසා ගෙදර සිට කාන්තාවන්ට කීයක් හරි හොයා ගන්න මාර්ගයකට අයවැයෙන් සහන ලැබෙන්න ඕනා. හැම අයවැයකදි ම ස්වයං රැකියා ණය යෝජනා වුණාට ඒවා ගන්න ගියහම ලේසි නෑ. පවුලේ ආර්ථිකය ශක්තිමත් කරලා රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න ඕනා.''

Image caption සෙව්වන්දි කොතලාවල

එසේ පැවසුවේ කළුතර දොඩංගොඩ සෙව්වන්දි කොතලාවලය. ඇය තම නිවස ඉදිරිපිට කුඩා සිල්ලර වෙළෙඳසලක් පවත්වා ගෙන යන්නීය.

Image caption "බඩු එකක දෙකක මිල අඩු කරල මිනිස්සු රවට්ටලා වැඩක් නෑ" - ඉරෝෂා පි‍්‍රයංගනී

දොඩන්ගොඩ ප්‍රදේශයේ ම පදිංචි ඉරෝෂා පි‍්‍රයංගනී ගෘහණියකි. ඇය පවසන්නේ රටේ නිෂ්පාදනය වැඩි කිරීමට ක්‍රමවේදයක් අවශ්‍ය බවය.

''අද කිරි පැකට් එකේ ඉදළා හැම දේ ම ගණන්. ඒත් බඩු එකක දෙකක මිල අඩු කරල මිනිස්සු රවට්ටලා වැඩක් නෑ. දේශීය නිෂ්පාදන වැඩිකරලා භාණ්ඩ අතිරික්තයක් ඇති කරන්න ඕනා. එතකොට බඩු මිල අඩු වෙයි. මැති ඇමතිලා වෙනුවෙන් කරන වියදම් අඩු කරලා ජනතාවට මේ අයවැයෙන් සහන දිය යුතුයි.''

හටන්ගලගේ බන්දුවතී - රබර් කිරි කපා ජීවත් වන්නීය.

''රජයේ සේවකයන්ගේ පඩි වැඩි වුණාට අපිට පඩි වැඩි වෙන්නේ නෑ. හැබැයි අපි දෙගොල්ලන්ට ම තියෙන්නේ එක ම බඩු මිල. ඒ නිසා එක්කෝ පඩි වැඩි විය යුතුයි. එහෙම නැතිනම් බඩු මිල අඩු විය යුතුයි.''

Image caption වාසනා චතුරංගි - නීතිඥවරියකි

නීතිඥවරියක වන වාසනා චතුරංගි පවසන්නේ කාන්තාවන් ශ්‍රම බලකායට ඇතුළත් කර ගැනීමට ක්‍රමවේදයක් අවශ්‍ය බවය.

''කාන්තාවන් බහුතරය ගෘහණියන්. ඒ නිසා ඔවුන්ව වගේ ම ආබාධ සහිත වූවන් රටේ ශ‍්‍රම බලකායට ඇතුළත් කර ගන්න වැඩපිළිවෙළක් අයවැයෙන් ඉදිරිපත් වුණොත් හොඳයි. කෘෂිකර්මාන්තයේ නියැලෙන අයට වැඩිපුර සහන දෙන්න. උගතුන් රටේ රදවාගන්න, නව නිපැයුම්කරුවන්ට අත දෙන්න.''

තිලිණි සමරවීර, වෘත්තියෙන් ගුරුවරියකි.

''බොහෝ අම්මලා රැකියාවල් කරන්න යනවා. ඒ නිසා ඔවුන්ට දරුවොත් එක්ක ගත කරන්න තියෙන කාලය අඩුයි. අයවැය තුළින් හොඳ සහන ලැබුණොත් දරුවන් සමග සතුටින් ජීවත් වෙන්න පුළුවන්.''

Image caption "අපිට ඕනා බඩු මිළ අඩු වෙන්න" - කේ. අනුලාවතී

කේ. අනුලාවතීගේ ජීවනෝපාය රබර් කිරි කැපීම ය.

''අපිට ඕනා බඩු මිල අඩු වෙන්න තමයි.''

කෙසේ වෙතත්, මහාචාර්ය සිරිමල් අබේරත්න පෙන්වා දෙන්නේ, "සියලු දෙනා සන්තෝෂ කිරීමට" රජය උත්සහ දැරුවොත් රටේ ආර්ථිකය තවත් දුර්වල විය හැකි බවය.

"අපේ රටේ ලබන අදායම මදි ණය ගෙවන්නත්. ණය ගන්න පුළුවන් සීමාවන් ශ්‍රී ලංකාව පන්නලා ඉන්නේ."

පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ සංචාරය කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් පැවසුවේ, මෙම වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකය තරමක් හොඳ අතට පත් විය හැකි බවය.

2019දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 3.5%ක් විය හැකි බවටත් උද්ධමනය 4.5% විය හැකි බවටත් ඔවුහු ඇස්තමේන්තු කළහ.

මේ තොරතුරු ද දැනගන්න:

ණය ගෙවන්න 'ණය ගන්නා' ශ්‍රී ලංකාවේ ආර්ථිකය

"එළ හරකා - මී හරකා ආර්ථික ප්‍රතිපත්තියක්"

දේශපාලන අර්බුදය හමුවේ රුපියලත් වාර්තා තබයි

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර