අකුරු කරන්නට පාසලක් නොමැති කන්තලේ දරුවෝ

අග්‍රබෝධි පාසැළ ඉදිරිපිට නිහඬ විරෝධතාව
ඡායාරූප ශීර්ෂ වැකිය,

අග්‍රබෝධි පාසැල ඉදිරිපිට නිහඬ විරෝධතාව

"දරුවා ලැබෙන කොට මගේ දුවගේ වයස අවුරුදු දාහතරයි. අන්තිමේදී ඒක අසාර්ථක පවුල් ජීවිතයක් වුණා. දැන් දෙන්නම ඉන්නේ මගේ ගෙදර. පොඩි එකාගේ පාසල් යන වයසත් හරි."

කන්තලේ අග්‍රබෝධි ජාතික පාසලේ සිට හූ හඬක දුරකින් පදිංචිව සිටින ආර් පී ඩී ශ්‍රියාණී නාමල්කුමාරී තම දියණියට මෙන්ම මුණුපුරාට අත්ව ඇති ඉරණම එලෙස පැහැදිලි කළාය.

අම්මගේ නම ඡන්ද නාමලේඛණයට ඇතුළත් කරලා අවුරුදු දෙකයි. ඡන්ද නාමලේඛනයටත් එක් එක් අවුරුද්දට ලකුණු පහ බැගින් දෙනවා. ඒ විදියට අවුරුදු පහකට ලකුණු විසිපහක් ලැබෙනවා. ඉතින් මගේ මුණපුරාට ලකුණු පහ‍ළොක්ම අඩුයි. ඉස්කෝලෙට භාරගන්නේ නෑ ලකුණු මදි කියලා."

තම මුණුපුරා ළඟම පාසලට අතුළත් කරගන්නැයි ඉල්ලමින් එම පාසල ඉදිරිපිට සති දෙකක පමණ කාලයක සිට ඇය නිහඬ විරෝධතාවක නිරතවන්නේ තවත් මව්වරුන් සහ මිත්තණියන් සිව්දෙනෙකු සමඟය.

"වතුර බිල, විදුලි බිල, වරි පණම් ගාස්තු මෙන්ම පවුලේ ආදි ශිෂ්‍යයන් සිටීම වැනි කරුණු කිහිපයකට දරුවට ලකුණු පනස් පහක් ලැබුණ. ඉඩම් ඔප්පුවටත් ලකුණු තිහක් දෙනවා. මගේ දරුවට ඒකත් නෑ. මේ නිසා ලකුණු හතළිස් පහක්ම දරුවට අහිමි වුණා. අම්මා බාල වයස්කාරියක් වීමත්, ඉඩමට ඔප්පුවක් නැතිකමත් දරුවගේ වරද නිසා වූ දෙයක්ද?" ශ්‍රියාණී ප්‍රශ්න කරන්නීය.

ඡායාරූප ශීර්ෂ වැකිය,

ආර් පී ඩී ශ්‍රියාණී නාමල් කුමාරී

මේ අතර අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය‍, නිදහස් අධ්‍යාපනය උදෙසා සිසුජන ව්‍යාපාරය සහ ඒකාබද්ධ ගුරුසේවා සංගමය ද අඟහරුවාදා (අප්‍රේල් 02 එම විරෝධතාවට එක්ව, කන්තලේ ඔරලෝසු කණුව මංසන්ධියේ සිට අග්‍රබෝධි ජාතික පාසල දක්වා පෙළපාලියකින් පැමිණ කළුපටි හිස වටා පැළඳ අත්පත්‍රිකා බෙදාහරිමින්, පැයක පමණ කාලයක් සටන්පාඨ කියමින් විරෝධය පළකළහ.

තිස්අට හැවිරිදි අයි එන් මාලා මංගලිකා කන්තලේ අග්‍රබෝධි ජාතික පාසල ඉදිරිපිට නිහඬ විරෝධතාවට එක්ව සිටින තවත් මවකි.

ඡායාරූප ශීර්ෂ වැකිය,

අයි එන් මාලා මංගලිකා

"මට ඡන්ද නාම ලේඛනය ප්‍රශ්නයක් වුණේ නෑ. නමුත් ඉඩමට ඔප්පුවක් නැතිකම නිසා ලකුණු තිහකුත් වරිපණම්, ලයිට් බිල් වතුර බිල් නොගෙවන නිසා තවත් ලකුණු ප්‍රමාණයකුත් නැතිවුණා. පොල් අතු පැළක් හදාගෙන අපි අවුරුදු විසිපහක් තිස්සේ පදිංචිවෙලා ඉන්නේ ආණ්ඩුවේ ගොඩනැගිලි ඉදිකිරීමට වෙන්කළ ඉඩමක. ඒකට කොහෙද ලයිට් වතුර. වකුගඩු රෝගයෙන් මිය ගිය මගේ ලොකු පුතා ඉගෙන ගත්තෙත් අග්‍රබෝධියේමයි. ළඟම පාසල හොඳම පාසල වුණාට පස්සේ තමයි මේ ප්‍රශ්නය මතුවුනේ." මංගලිකා එසේ පවසන්නීය.

"මම උසස් පෙළ දක්වා අධ්‍යාපන ලැබුවේ අග්‍රබෝධි ජාතික පාස‍ලෙන්. මගේ දරුවෝ දෙන්නත් එහෙමයි. නමුත් මුණුබුරාට ඒක තහනම්. හේතුව ඉඩමට ඔප්පුවක් නැතිකම," විරෝධතාවට එක්ව සිටින පනස්හත් හැවිරිදි ඩබ්ලිව් එම් පත්මා කළ්‍යාණී සිය විරෝධ පළ කරන්නේ එසේය‍.

ඡායාරූප ශීර්ෂ වැකිය,

ඩබ්ලිව් එම් පත්මා කළ්‍යාණී

"අපේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය ‍වෙනුවෙන් පසුගිය ජනවාරි 17 වැනිදා සිට අපි කන්තලේ ප්‍රාදේශීයලේකම්ට, කළාප අධ්‍යාපන අධ්‍යක්ෂකට, පරිවාස නිළධාරියාට, පන්සලේ ලොකු හාමුදුරුවන්ට, නැගෙනහිර පළාත් ලේකම්ට, ආණ්ඩුකාරවරයාට මෙන්ම ඉසුරුපායටත් කරුණු ඉදිරිපත් කළා. අන්තිමට මානව හිමිකමි කොමිසමටත් පැමිණිළි කළා. තවම විසඳුමක් නෑ. ඉඩම්වලට ඔප්පු ‍දෙන්නේ අපිද?" ඇය ප්‍රශ්න කරන්නීය.

මේ අතර කන්තලේ නගර සීමාව තුළ පදිංචි පවුල් එක්දහස් පන්සියයකට පමණ වසර හැත්තෑවක් තිස්සේ ඉඩම් ඔප්පු ලබාදී නැති බව වෙළුන්නා රජමහා විහාරාධිපති උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝ නායක යටවර පුඤ්ඤරතන හිමියෝ පවසති.

ඡායාරූප ශීර්ෂ වැකිය,

යටවර පුඤ්ඤරතන හිමි

"මේ ගැටලුව ලිහාගන්න අපි ලොකු අරගලයක් කරනවා. මුලින් ඒ අරගලයට නායකත්වය දුන්නේ මගේ ලොකු හාමුදුරුවෝ. උන්වහන්සේ අපවත්වන තුරුම විසඳුමක් ලැබුණේ නෑ. එදා පටන් දායකයන් සමඟ එකතු වී මම ඉල්ලීම් කරනවා. විදුලිය, ජලය, වරිපණම් සඳහා නිකුත් කළ බිල්පත් තමයි අපිට ඉඩම් ඔප්පු වෙලා තියෙන්නේ. දැන් දරුවන්ට පාසලට ඇතුළත් වෙන්න බැරි තත්වයකුයි උද්ගතව තියෙන්නේ."

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයට අනුයුක්ත, නිදහස් අධ්‍යාපනය උදෙසා සිසුජන ව්‍යාපාරය ද පසුගිය ඉරිදා (24 දා) මේ දරුවන් සහ දෙමාපියන් වෙනුවෙන් මැදිහත් වූ බව රජරට විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨයේ සභාපති ප්‍රසන්න සුරේන්ද්‍ර බීබීසී සිංහල සේවයට පැවසීය.

ඡායාරූප ශීර්ෂ වැකිය,

ප්‍රසන්න සුරේන්ද්‍ර - සභාපති - නිදහස් අධ්‍යාපනය උදෙසා සිසුජන ව්‍යාපාරය

"දැනට මාසයකට කලින් ගාල්ලේ සවුත්ලන්ඩ් ජාතික පාසල ආශ්‍රිතවත් මේ ගැටළුව ම මතුවුණා. අපි අධ්‍යාපන ඇමතිතුමා සමඟ සාකච්ඡා කර ඒ සඳහා පිළියම් ලබා දුන්නා. යහපාලන ආණ්ඩුවේ අධ්‍යපන ඇමතිතුමාගේ අළුත් චක්‍රෙල්ඛය නිසා තමයි මේ අර්බුදය මතුවුණේ. එක්කෝ නගරවාසීන්ට ඉඩම් ඔප්පු ලබාදිය යුතුයි. නැතිනම් ජාතික පාසලකට එකවසරට දරුවන් ඇතුළත් කරගැනීමේදී ඉඩම් ඔප්පුව සහ පස්වසරක ඡන්ද අයිතිය තහවුරු කිරීමේ වගන්ති ඉවත්කළ යුතුයි. ඒ දෙකටම දරුවා වගකිවයුතු නෑ. කොහොමටත් මේ ගැටළුව ලබන අවුරුද්දටත් ගෙනියන්න අපි ඉඩතියන්නේ නෑ," ඔහු පැවසීය.

කන්තලේ කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ එම් එස් පී කේ අබේනායක පවසන්නේ පළාත් සභාවේ පාසල් සම්බන්ධයෙන් විනා මධ්‍යම ආණ්ඩුවෙන් නියාමනයවන පාසල් සම්බන්ධයෙන් තමන්ට මැදිහත්විය නොහැකි බවය.

කියවන්න: