ක්‍රිකට්: මහේල ජයවර්ධනට එංගලන්තයේ ප්‍රධාන පුහුණුකරු තනතුරක්

Image copyright Ecb

'The Hundred' ක්‍රිකට් තරගාවලියේ සවුතැම්ටන් පළාත පදනම් කරගත් පිරිමි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පත් කර තිබේ.

ඉහත කී තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය විසිනි. චාලට් එඩ්වර්ඩ්ස්, සවුතැම්ටන් පළාත පදනම් කරගත් කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත.

42 හැවිරිදි මහේල ජයවර්ධන, පුහුණුකරු වෘත්තියට පා තැබීමට පෙර ටෙස්ට් තරග 149 සහභාගි වී ලකුණු 11,814ක් රැස් කර ඇත.

එක්දින තරග 448 සහභාගී වී ඇති ඔහු එමගින් රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 12,650ක් කි.

ටෙස්ට් ශතක 34 ක් වාර්තා කර ඇති මහේල 2011 වසරේදී එක්දින ලෝක කුසලාන අනුශූරතාව දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීය.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස දෙවරක් කටයුතු කරමින් එම කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහයවීමට ඔහු සමත් විය.

ඊට අමතරව, මහේල ජයවර්ධන 2015-16 දක්වා කෙටි කාලයක් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශකවරයෙකු ලෙස ද කටයුතු කළේය.

එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිල වෙබ් අඩවියට අදහස් දක්වමින් මහේල ජයවර්ධන පැවසුවේ, "ද හන්ඩ්‍රඩ් කියන්නේ නවතම සහ ආකර්ෂණීය ක්‍රිකට් තරගාවලියක්. සවුතැම්ටන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට ලැබීම මට ලැබුණු ලොකු අවස්ථාවක්," යනුවෙනි.

Image caption චාලට් එඩ්වර්ඩ්ස්, සවුතැම්ටන් පළාත පදනම් කරගත් කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත

'The Hundred' ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් පුහුණුකරුවන්

  • සවුතැම්ටන්: මහේල ජයවර්ධන (පිරිමි), චාර්ලට් එඩ්වර්ඩ්ස් (කාන්තා)
  • බර්මිංහැම්: ඇන්ඩෲ මැක්ඩොනල්ඩ් (පිරිමි)
  • කාඩිෆ්: ගැරී කර්ස්ටන් (පිරිමි), මැතිව් මොට් (කාන්තා)
  • ලීඩ්ස්: ඩැරන් ලීමන් (පිරිමි), ඩැනියල් හැසල් (කාන්තා)
  • ලන්ඩන් (ලෝඩ්ස්): ෂේන් වෝර්න් (පිරිමි), ලීසා කෙයිට්ලි (කාන්තා)
  • මැන්චෙස්ටර්: සයිමන් කැටිච් (පිරිමි)

'The Hundred' ක්‍රිකට් තරගාවලිය යනු

එක් කණ්ඩායමක් පන්දු 100කට මුහුණ දෙන තරගාවලිය සඳහා අනුමැතිය හිමි වූයේ, එංගලන්ත වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ 2017 වසරේ පැවති ඡන්ද විමසීමකින් පසුවය.

මෙහිදී පන්දුවාර 20 තරගවලදී බලපැවැත්වෙන නීති ක්‍රියාත්මක වන අතර පළමු පන්දුවාර 15 එක් පන්දු වාරයකට පන්දු 6ක් ලෙස ක්‍රියාත්මක කෙරේ. එහෙත්, අවසන් පන්දු වාරය පන්දු 10කින් සමන්විත වනු ඇත.

'The Hundred' තරගාවලිය 2020 වසරේ ජූලි මාසයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර