ලොව පුරා වාර්ෂිකව ලක්ෂ අටකට ආසන්න පිරිසක් මරු තුරුලට: "සිය දිවි නසා ගැනීම් අඩු වෙලා"

මෙය බෙදාගන්න Email මෙය බෙදාගන්න Facebook මෙය බෙදාගන්න Twitter මෙය බෙදාගන්න Whatsapp

Image copyright Getty Images

යුද්ධයෙන් මියගිය පිරිසට වඩා වැඩි පිරිසක් සියදිවි හානි කර ගැනීම් තුළින් මිය යන බව වවුනියාව මහ රෝහලේ මානසික සෞඛ්‍ය ඒකකයේ වෛද්‍ය මයුර සන්නසූරිය බීබීසී සිංහල සේවය කළ විමසුමක දී පැවසීය.

සැප්තැම්බර් 10 වෙනි දිනට යෙදී තිබෙන ලෝක සියදිවි හානිකර ගැනීම් වැළැක්වීමේ දිනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය මයුර සන්නසූරිය පැවසූවේ "සියදිවි හානිකර ගැනීම වැළැක්වීම සඳහා එකමුතුවී වැඩකරමු " යන්න මෙවර දිනයේ තේමාව වන බවය.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO), සිය දිවි හානි කර ගැණීම වැලක්වීමේ ජාත්‍යන්තර සංවිධානය (INSP) සහ ලෝක මානසික සෞඛ්‍ය සම්මෙලනය (WFMH) යන ආයතන එක්ව 2003 වසරේ සිට මෙම දිනය වෙන් කිරීමට කටයුතු කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධාන දත්තවලට අනුව ලෝකයේ සෑම තත්පර 40 කට වරක්ම පුද්ගලයෙකු සියදිවි හානි කරගන්නා අතර, සෑම වසරකම ලක්ෂ අටකට ආසන්න පිරිසක් මියයති.

90 දශකයේ මුල් භාගය වන විට සිය දිවි හානිකර ගැණිම් සංඛාව ඉහළ ගිය අතර, ලෝකයේ රටවල් අතරින් වැඩිම පිරිසක් සියදිවි හානි කරගන්නා රට බවට ශ්‍රී ලංකාව පත් වූ බව 'සුමිත්‍රයෝ' සංවිධානයේ ස්වේච්ඡා උපදේශිකාවක් සහ කලමනාකාරියක් ලෙස සේවය කරන සොනාලි බීබීසී සිංහල සේවය සමග පැවසුවාය. වෘත්තීය බැඳීම් හේතුවෙන් ඇයට සිය වාසගම හෙළි කළ නොහැකිය.

Image caption ලෝක සෞඛ්‍ය සංවිධාන දත්තවලට අනුව ලෝකයේ සෑම තත්පර 40 කට වරක්ම පුද්ගලයෙකු සියදිවි හානි කරගන්නා අතර, සෑම වසරකම ලක්ෂ අටකට ආසන්න පිරිසක් මියයති.

සියදිවි නසාගැනීමට තැත් කරන පුද්ගලයන්ට සහ විවිධ ගැටලු හේතුවෙන් මානසික පීඩනයට ලක්ව සිටින්නන් වෙනුවෙන් සුමිත්‍රයෝ වැනි රාජ්‍ය නොවන සංවිධාන උපදේශන සේවා ක්‍රියාත්මක කරති.

මේ තොරතුරුද දැනගන්න:

"වර්තමානය වන විටත් මෙම ජීවිත හානිකර ගැනීම අප සමාජයේ සැලකිය යුතු ප්‍රශ්නයක් බව බොහෝ දෙනා දන්නා දෙයක්. පර්යේෂණ සහ වෛද්‍ය විද්‍යාත්මක හැදෑරීම් තුළින්, අද වන විට යම් පුද්ගලයෙකුට සියදිවි හානිකර ගැනීමේ සිතුවිල්ල ඇති වීමට හේතුවන කරුණු කාරනා කීපයක් අනාවරණය කරගෙන තිබෙනවා" යැයි වෛද්‍ය මයුර සන්නසූරිය පැවසුවේය.

Image caption දිවි නසා ගැනීම් වළක්වන්නේ කෙසේද?

"ඒ අතරින් නොයෙකුත් මානසික රෝගී තත්වයන්, උදාහරණ ලෙස විශාදය (Depression), හීන්නෝන්මාදය, මත්පැන් සහ අනෙකුත් මත් ද්‍රව්‍ය භාවිතය, දීර්ඝකාලීන රෝගී තත්වයන්, අපචාරයන්ට ගොදුරු වීම වැනි කරුණු මූලික කොට සලකන්න පුළුවන්. මීට අමතරව පෙර අවස්ථාවක සිය දිවි හානිකර උත්සාහ ගත් තැනැත්තෙකු නැවත එය සිදු කර ගැනීමට ඉඩ ඇති බවත් සොයාගෙන තිබෙනවා," වෛද්‍යවරයා පැවසීය.

* මම මේ සමාජයට, පවුලට බරක්.........

* මේ ප්‍රශ්නයෙන් ගොඩ ඒමට මට වෙන කිසිදු විකල්පයක් නෑ.........

* මම ඉන්නේ වෙන කිසිවකුටත් උදව් කිරීමට හැකි තත්ත්වයක නොවේ........

* අන් අයගේ වැරදි වලට මට මගේ ජීවිතයෙන් වන්දි ගෙවන්නයි සිදුවෙලා තියෙන්නේ........

* මම ජීවිතයෙන් හෙම්බත්, සදාකාලිකවම මගේ ජීවිතයම දුකක්.......

වැනි සිතුවිලි ඇති අයෙක් සියදිවි නසා ගැනීමේ අවදානමක් සහිත පුද්ගලයෙකු විය හැකි අතර, මෙවැනි පුද්ගලයන් හඳුනා ගැනීම ශ්‍රී ලාංකිකයන් වන අපට ගැටලුකාරී වන්නේ අප එවන් දේ කථා කිරීමට දක්වන මැලිකම නිසා බව වෛද්‍යවරයා තවදුරටත් පැවසුවේය.

Image copyright Getty Images
Image caption "විශාදය නිසා තව දුරටත් තම ජීවිතයේ ගැටළු වලින් ගොඩ ඒමට, මිදීමට සියදිවි හානිකර ගැණීම හැර වෙනත් විකල්පයක් නොමැති බවට බොහෝ අය නිගමනවලට එළැඹෙනවා."

වර්තමායේ දී ශීඝ්‍රයෙන් පැතිර යන සමාජ ජාලා මාධ්‍යය රටාව තුල විශේෂයෙන්ම තරුණ පරපුර මානසික ආතතිය සහ නොයෙකුත් අනවශ්‍ය ගැටලුවලට මුහුණ දෙමින් සිටින තත්වයක් පැන නැගී තිබේ.

උදාහරණයක් ලෙස, විවිධ සමාජ ජාලා වෙබ් අඩවි හරහා තමන්ගේ වීඩියෝ වැනි පෞද්ගලිකත්වයට හානි වන දෑ සමාජගත වීමෙන් මුහුණ දීමට සිදුවන අපකීර්තිය හමුවේ ඇති වන මානසික පීඩනය ඇතැම් සියදිවි නසාගැනීම් වලට හේතු වී තිබෙනු දක්නට ලැබේ.

"මානසික ආතතිය, අනෙකුත් පවුල් සහ සාමාජීය ප්‍රශ්න හරහා ගොඩ නැගුණු විශාදය නිසා තව දුරටත් තම ජීවිතයේ ගැටළු වලින් ගොඩ ඒමට, මිදීමට සියදිවි හානිකර ගැණීම හැර වෙනත් විකල්පයක් නොමැති බවට බොහෝ අය නිගමනවලට එළැඹෙනවා."

තවත් තොරතුරු:

"වර්තමානයේ වාර්තාවන සිය දිවි හානිකර ගැනීම් අතර හදිසි ආවේගය සහ කෝපය , දුක දරා ගැනීමට නොහැකි වීම සේම අන් අය බිය වැද්දීමෙ අදහසින් සිතාමතාම තම ජීවිතයට තමන්ම හානි කර ගැනීම දක්නට ලැබෙනවා" යැයි වෛද්‍ය මයුර සන්නසූරිය පැවසුවේය.

Image caption වවුනියාව මහ රෝහලේ මානසික සෞඛ්‍ය ඒකකයේ වෛද්‍ය මයුර සන්නසූරිය

මේ අතර, සුමිත්‍රයෝ සංවිධානය ඔවුන්ගේ සියයක් පමණ ස්වේච්ඡා උපදේශකවරයන් මගින් රට පුරා විවිධ මානසික පීඩනයන්ට ලක් වී සිටින පුද්ගලයන්ට පිහිට වෙමින් සිටී.

මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ සොනාලි පැවසුවේ 1995 වසරට සාපේක්ෂව වර්තමානයේ සියදිවි නසාගන්නා පුද්ගලයන් ගණන අඩු වී ඇති බවය.

"නමුත් සියදිවි නසා ගන්න සිතන අය, උත්සහ කරගන්න අයගේ ප්‍රමාණයේ වැඩි වීමක් දකින්න තිබෙනවා," යැයි ඇය පැවසුවාය.

"මේ වගේ අයට අපි ඉතා කිට්ටු වෙලා, ඔවුන්ගේ සමීපතමයන් වගේ සිට ඔවුන්ගේ මානසික තත්වය ඉහළ නැංවීමට කටයුතු කරනවා. සියදිවි නසා ගැනීමට සිතෙන කෙනෙක් හෝ දැඩි මානසික පීඩනයකින් සිටින කෙනෙකුට ඕනෑම අවස්ථාවක පිහිට වෙන්න අපි සූදානම්."

මනෝ විද්‍යාත්මකව සොයා ගෙන ඇති ආකාරයට "ඔයාට ජීවත් වුනා ඇති කියලා හිතෙනවද?" හෝ "ඔයාට මැරෙන්නට අදහසක් තියෙනවා ද?" වැනි සෟජු ප්‍රශ්න ඇසිම තුලින් සියදිවි හානි කර ගැනිමේ අවදානමක් ඇති පුද්ගලයෙකුට ඒ සඳහා රුකුල්දීමක් සිදු නොවන්නේ යයි තහවුරු වී ඇති බව ද වෛද්‍ය මයුර සන්නසූරිය සඳහන් කළේය.

"මෙහෙම ප්‍රශ්න කිරීමෙන් තවත් පුද්ගලයා අවදානමේ හෙළන බව සමාජය තුල පවතින මිත්‍යාවක් පමණයි."

"සිය දිවිනසා ගැණීමට උත්සාහ ගෙන ඉන් ගැලවුණු බොහෝ දෙනා පවසන්නේ තමන්ට අවශ්‍ය වේලාවේදී තමන්ගේ දුක බෙදාහදා ගැනීමට, ප්‍රශ්න සාකච්ඡා කිරිමට තමන්ගේම යැයි සිතා සලකන කිසිවෙකු සිටියේනම් මෙවැනි උත්සාහයක් කිසි විටෙකත් නොගන්නා බවයි."