ගසල් රජු මෙහ්දි හසන් අවමඟුල සිකුරාදා

Image copyright none

අඩසිය වසක් ඉක්මවා සංගීත කරණයේ නියැලි, ගසල් රජු ලෙසින් ප්‍රකට පකිස්තානයේ මෙහ්දි හසන් ගේ සිකුරාදාට නියමිත අවසන් කටයුතු වෙනුවෙන් මහා සෙනගක් අපේක්ෂාවෙන් පොලිසිය කරච්චි නුවර මුරකාවල් දැඩි කොට තිබේ.

84 හැවිරිදි දිවියෙන් මෙහ්දි හසන් සමුගත්තේ ඉන්ද්‍රිය කීපයක් අක්‍රිය වී කරච්චියේ අගා ඛාන් රෝහලට ඇතුල් කරනු ලැබීමෙන් අනතුරුව.

භාරතීය ගීත කෝකිලා ලතා මංගේෂ්කාර් හසන් ගේ ගායනා වරක් හැඳින්වුයේ 'දිව්‍යමය හඬක්' ලෙසින්.

මෙහ්දි හසන් ගේ වියෝව බීබීසී සංදේශයෙන් දැනගෙන සෝ පත් සංගීත විශාරද දයාරත්න රණතුංග ප්‍රකාශ කළේ හසන්, ගසල් ගීත සම්ප්‍රදායේ ජ්‍යෙෂ්ටතම ශිල්පියා බව.

"භාරතීය සංගීත ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවෙන නාමයක්," ලෙසින් විශාරද රණතුංග විසින් හඳුන්වනු ලැබූ, මෙහ්දි හසන් සිනමාවටත් ගසල් ගී සම්ප්‍රදාය හඳුන්වා දුන් සංගීත වේදියා සේ ගැනේ.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ප්‍රේම විරහ ගායනා ශෛලියක් වන ගසල් සම්ප්‍රදාය දකුණු ආසියාවේත් මැද පෙරදිගත් සියවස් හතරකට වැඩි කලක් ප්‍රචලිත වුවක්.

1947 දී ඉන්දියාවෙන් බෙදී බිහිවුණු පකිස්තානයට සිය පවුල හා සංක්‍රමණය වූ හසන්, සංගීත ක්ෂේත්‍රයට පිවිසීමට පෙර ජීවිකාව කොට ගත්තේ පාපැදි හා මෝටර් රථ අලුත්වැඩියාවෙන්.

තුම්රි ශෛලියේ ගායනා 1957 දී පකිස්තාන් ගුවන් විදුලියේ මුල් වරට ගයමින් සිය සංගීත දිවිය අරඹා එදා මෙදා තුර පකිස්තාන් චිත්‍රපට වෙනුවෙන් ගීත සිය ගණනක් ද ගසල් දහස් ගණනක්ද ගයා ඇති මෙහ්දි හසන් ලොව පුරා සජීවී ප්‍රසංග පවත්වා ඇති ශිල්පියෙක්.

ඔහුගේ වියෝව ගසල් ගායනා යුගයක නිමාව බවයි, පීටීඅයි ඉන්දීය පුවත් සේවාව සඳහන් කළේ.