නව ව්‍යවස්ථාවක් පිලිබඳ යෝජනා

විපක්ෂය විසින් සකස් කරන ලද නව ව්‍යවස්ථාවක් පිලිබඳ යෝජනාව ප්‍රසිද්ධියට පත් කිරීම විපක්ෂ නායක වරයාගේ ප්‍රධානත්වයෙන් සහ පක්‍ෂ ගණනාවක සහභාගීත්වයෙන් සිදු කෙරින.

ඒකීය රාජ්‍යයක් තුල පළාත් බලතල බෙදීමේ පදනමින් මෙම යෝජනා ඉදිරිපත් කෙරෙන බවයි විපක්ෂය කියා සිටින්නේ.

ජනාධිපති රාජපක්ෂ කළ කතාවේ අඩංගු කරුණු

යුද ගැටුම් නිමාවේ එක්සත් ජාතීන් නිකුත් කළ නිවේදන, ජිනීවා මානව හිමිකම් කොමිසමේ සම්මත කර ගැනුණු යෝජනා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ දෙමල ජාතික සන්ධානය අතර හුවමාරු වූ ලිපි, තිස්ස විතාරණ වාර්තාව, උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ නිර්දේශ මෙන්ම යුද ජයග්‍රහණය වෙනුවෙන් 2009 මැයි මාසයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ කතාවේ අඩංගු කරුණු මෙම නව ව්‍යවස්ථා යෝජනාවට ඇතුලත් බවයි විපක්ෂය ප්‍රකාශ කර සිටින්නේ.

විධායක ජනාධිපති අහෝසි කර ජනතා පරමාධිපත්‍ය තහවුරු කරවීම තම අරමුණ බව යෝජනාව ඉදිරිපත් කළ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

ජනාධිපතිකම ජන අධිපතිකම බවට පත්වී

"තවදුරටත් මෙහෙම ගියොත් ජනාධිපති තනතුර මාර්ගයෙන් රජකමත් බිහිවිය හැකියි. අපේ අයිතියක් වන නිදහස් අධ්‍යාපනය අද කප්පාදු කොට තිබෙනවා. නිදහස් සෞඛ්‍ය නැති කරලා", යනුවෙන් ප්‍රකාශ කළ විපක්ෂ නායක වරයා, "ජනාධිපතිකම ජන අධිපතිකම බවට පත්වී දැන් ඒකාධිපති කමට ගිහින් තියෙන්නේ", යනුවෙන්ද කියා සිටියි.

එහෙයින් ජනතා ඡන්දයට සැබෑ වටිනාකමක් ලබාදිය යුතු බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කියා සිටියේය.

නව ව්‍යවස්ථා යෝජනාව ඉදරිපත් කිරීමේ අවස්ථාවට එක්වූ නව සම සමාජ පක්ෂයේ ලේකම් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ප්‍රකාශ කර සිටියේ, වැදගත් වන්නේ ව්‍යවස්ථාව නොව එය ක්‍රියාත්මක වන ආකාරය බවයි.

ආචාර්ය තිස්ස විතාරණගේ ප්‍රධානත්වයෙන් පැවැති සර්ව පාක්ෂික නියෝජිත සමුළුව නව ව්‍යවස්ථාවකට සුදුසු ප්‍රවේශයක් බව එක්සත් ජාතික පක්ෂය සමග නව යෝජනා ඉදරිපත් කිරීමේ අවස්ථාවට සහභාගීවූ එක්සත් සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් සිරිතුංග ජයසූරිය කියා සිටියේය .