මහා වංග සිනමාවේදියෙක් දිවියෙන් සමුගනී

සම්මාන ලාභී වංග සිනමාවේදී සෘතුපොර්නෝ ඝොෂ් කල්කටාවේ දී දිවි සිනමාවෙන් සමුගත්තේය.

හතලිස් නව හැවිරිදිව හෘදයාබාධයකින් මිය ගිය ඔහු කලක් අග්න්‍යාශදාහයෙන් පෙලුණි. වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයේ රැකියාවකින් ජීවිකාව ඇරැඹු සෘතුපොර්නෝ ඝොෂ් ජන ප්‍රසාදය මුල් වරට දිනා ගත්තේ 'හිරේර් අන්ටි' හෙවත් දියමන්ති මුද්ද ළමා චිත්‍රපටයෙන්.

වංග සිනමා පුනරුදයේ ප්‍රමුඛ භූමිකාවක් ඉසිලූ චිත්‍රපට අධ්‍යක්ෂ ඝොෂ් ස්වකීය නිර්මාණ සඳහා දෙස් විදෙස් විචාරක සම්මානයට පාත්‍ර වූයෙක්.

බොලිවුඩ් තාරකා

උනීශේ ඒප්රිල් (අප්‍රේල් දහනවය), චොඛෙර් බාලි (ඇසට වැලි) හා අබොහොමාන් (සදාකාලික) ඒ අතුරින් මුල් තැනක වෙයි.

වංග සිනමා තාරකා පමණක් නොව අමිතාබ් භච්චන් හා ඓශ්වර්යා රායි ඇතුළු බොලිවුඩ් දැවැන්තයන්ද අධ්‍යක්ෂණය කළ අයෙක්, සෘතුපොර්නෝ ඝොෂ්.

සංකීර්ණ පුද්ගලාන්තර සබඳතා යථාරුපී ලෙසින් සිනමාවට ගෙන ඒම සහ කාන්තාවන් චරිත ගැඹුරින් මෙන්ම සංවේදී ලෙසින්ද නිර්මාණය කිරීම පිළිබඳවයි ඔහු මහත් ඇගයීමට ලක්වුයේ.