ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

හෙළ සිනමාවෙන් ජාත්‍යන්තරයට ගිය ‘ගම්පෙරළිය’

හෙළ සාහිත්‍යයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ තුන් ඈදුතු නව කතාවේ පළමු නවකතාව වන ‘ගම්පෙරළිය' 1962 වසරේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිසුන් අතින් සිනමාවට නැගීම සිංහල සිනමාව මතුනොව ලෝක සිනමාව විෂයෙහිද පැසසුම් කටයුතු කරුණක් විය.

එය එසේ වන්නේ නවකතා කරුවාගේ කල්පනා ලෝකය ඉක්මවා එම ලෝකයේ නිම්වළලු පුළුල් කළ හැක්කේ කවරාකාරයෙන් දැයි යන්නට ගම්පෙරළිය සිනමා පටය කදිම නිදසුනක් සපයන බැවිනි.

එය 1963 වසරේදී ඉන්දියාවේ ‘ගෝල්ඩන් පීකොක්' (රජත මයුර) සම්මානයෙන් පුද ලද්දේ එම චිත්‍රපටයේ යට කී ගුණය නිසාවෙනි.

නවකතා කරුවාගේ පරිකල්පනය මනා ලෙස ග්‍රහණය කර ගන්නා සිනමාකරුවා එකී මනස්ලෝකය සෙලොලයිඩ් පට මත චිත්‍රණය කරන්නේ සිනමාවට ආවේණික වූ මනා සිනමාත්මක රීතියකිනි.

අබලන් වූ දිරා ගිය වහලයෙන් රූරා හැලෙන දිය බිංදු හිස් බඳුනකට බොල් හඬින් පතිත වෙද්දී ගම්පෙරළියේ ජිනදාස තම වත්ත උගසට තබා ලබා ගන්නා මුදලින් සිංහලේ ව්‍යාපාරයක් කිරීමට යන බව නන්දාට පවසන දර්ශනය ගම්පෙරළිය නවකතාවේ හුදු දෙබස් ඉක්මවා ප්‍රබලව සිනමාත්මකව නැගී සිටී.

නන්දා හා පියල්

සම්ප්‍රදායික කුලීන පැලැන්තියේ අභිමානවත් සංකේතයක් ලෙස නවකතාව මුලදී විග්‍රහ කෙරෙන ‘කයිසාරුවත්තේ මොහන්දිරම් වලව්ව' කල් යත්ම ගරා වැටෙන ආකාරයත්, එම පන්තියේ බිද වැටීමත් සමග නව වාණිජවාදී පන්තියෙන් නැග ඒම හා එම පන්තීන් දෙක එකතු වීම නන්දා හා පියල්ගේ විවාහයෙන් වික්‍රමසිංහ ශූරීන් සංකේතවත් කරයි.

ලෙස්ටර් පීරිසුන් මෙම සමාජ සංකූලතාවයන් වික්‍රමසිංහයන්ට වඩා ප්‍රඥාගෝචරව ග්‍රහණය කර ගත් ආකාරය ගම්පෙරළිය සිනමාපටයේ රූප රචනයෙන් මනා ලෙස පිළිබිඹු වේ.

නව වාණිජවාදී පන්තියේ නරුම සිතුවිලි කවරේදැයි ලෙස්ටර් ගම්පෙරළිය අවසාන ජවනිකාවේ විදග්ධ ලෙස ගෙන හැර දක්වයි.

‘එහෙනම් ජිනදාසගෙ පාන්සකූලෙ දුන්නෙත් මගේ සල්ලිවලින්' යන පියල්ගේ නරුමාලාපයෙන් තත්පර කීපයකදී ලෙස්ටර් නව වාණිජවාදී පන්තිය කවරේදැයි ප්‍රේක්ෂකයාට ඒත්තු ගන්වයි.

ඒ සඳහා ලෙස්ටර්ට මහා අත්වැලක් සපයන්නේ රෙජී සිරවර්ධන ශූරීන්ගේ විදග්ධ තිර රචනයයි.

සිනමාපටයක්, පාදක කර ගන්නා නවකතාව තුල නතර නොවී, තවත් ඉදිරියට යා හැක්කේ කෙසේ දැයි ශ්‍රී ලාංකේය සිනමාවට කියා දුන් ‘ගම්පෙරළිය' චිත්‍රපටය ලෝක සිනමාවට පවා අත් පොතක් වන්නේ එහෙයිනි.