ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මිනිහෙක් නැති සංස්කෘතියක් - ධර්මසිරි බණ්ඩාරනායක

කොදෙව් මානසිකත්වයෙන් ඔබ්බට ගිය සමාජයක් වර්ගවාදය, ජාතිවාදය සහ ආගම්වාදය ප්‍රතික්ෂේප කරන බව ප්‍රවීණ සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක පවසයි.

සාමූහික සමාජ ක්‍රියාවලියක කොටස්කරුවකු වීමේ අරමුණින් කලාවට පිවිසි තමා රුසියානු සාහිත්‍ය තුළින් නව ජීවයක් ලැබූ බවත් ඔහු සඳහන් කළේය.

‘කියවපු මිනිස්සුන්ගේ ලෝකය ඇතුළේ විශාල පිරිසක් ජීවත් වෙනවා. දැන් අපි ලංකාවේ හැම තිස්සෙම කතා කරන්නේ දෙමළ, සිංහල, මුස්ලිම්. අපිත් එක්ක ජීවත් වෙලා තියනවා රුසියන් කාරයෝ, ප්‍රංශ කාරයෝ, යුදෙව්වෝ’ ඔහු කියා සිටියේය.

රුසියානු සාහිත්‍යයේ එන බොහෝ චරිත සහ එම චරිත මුහුණ දෙන අත්දැකීම් අප ශ්‍රී ලංකික සමාජය තුළ දක්නට හා අත්විඳීමට නොලැබෙන මුත් එම “කියවීම” අප සමාජයේ මෙහෙය වීමට බලපාන බවයි ප්‍රවීණ නාට්‍යවේදී ධර්මසිරි බණ්ඩාරනායක පවසන්නේ.

ශ්‍රී ලාංකික සමාජය තුළ සංස්කෘතික මිනිසා මිය ගොස් ඇතැයි පවසන ධර්මසිරි බණ්ඩාරනායකයන් දේශපාලනඥයන්ට අවශ්‍ය පරිදි වර්තමාන අධ්‍යාපන ක්‍රමවේදය සකස් කර ඇති බවත් සඳහන් කළේය.

‘සංස්කෘතික කියලා වචනයක් තියනවා, නමුත් මිනිසෙක් නැහැ. එහෙම නැති වෙනකොට තමයි මේ අශීලාචාර, අවිනීත, අන්තිම පාදඩ සමාජයක් බිහි වෙන්නේ’ ප්‍රවීණ සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක වැඩිදුරටත් කියා සිටියේය.

සම්පුර්ණ හඬ පටයට සවන් දෙන්න. ඉර පානෙන් රැස් දෝතක් බන්දුල නානායක්කාරවසම් සම්පාදනයක්.