ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

විභාගේ තමයි අපේ අභාගේ..සෝමලතා සුබසිංහ මතකය

අධ්‍යාපනය හරහා දරුවන්ට දැඩි ආතතියක් පටවා තිබුණු එක්තරා යුගයක සෝමලතා සුබසිංහ මව්පියන්ට පාඩම් කියා දුන්නේ වේදිකාව උපයෝගී කොට ගනිමින්.

ඇය වේදිකාව වෙතින් කියා දුන් පාඩම් බොහොමයක් මව්පියන්ට කිසිදා අමතක නොවන තරම්.

දැඩි අන්ධභාවයකින් මාපියන් දරුවන් වෙත අධ්‍යාපනය අරඹයා කරන ලද බලපෑම ඇය විවේචනය කළේ ඉතා නිර්ධය ලෙසයි.

‘විද්‍යා විෂයද? කලාවද?. කලාව කිව්වොත් මළා වගේ. චී.. චී.. චී.. ලැජ්ජ නැද්ද, අපේ එකෙක් කලාව කරන්න... කව්ද උඹ දිහා බලන්නේ, විද්‍යාවයි ගණන් ගන්නේ. අඩු ගන්නේ වානිජවත්...ඉතින් පුතේ නම්බුවක්නේ ෆේල් උනත් විද්‍යාවෙන් විභාගේ කොරලා.. විභාගේ විභාගේ එහෙ බැලුවත් විභාගේ මෙහෙ බැලුවත් විභාගේ... විභාගේ තමයි අපේ අභාගේ’

දරුවන් වෙනුවෙන්

සෝමලතා සුබසිංහ දරුවන් වෙනුවෙන් කළ නිර්මාණ නොවෙයි අද පරිණත සහෘදයා, ප්‍රේක්ෂක රසිකයා සිහිපත් කරන්නේ වැඩිපුර ඇය වෙනුවෙන්.

මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර, ගුණසේන ගලප්පත්ති, රන්ජිත් ධර්මකීර්ති, ධම්ම ජාගොඩ, නාමෙල් වීරමුණි, හෙන්රි ජයසේන වැනි මව්බිමට පහළ වූ සම්භාව්‍ය නාට්‍යකරුවන්ගේ ප්‍රබලතම නිර්මාණයන්හි ඇය කැපී පෙනෙන දයකත්වයකට හිමිකම් පෑවාය.

සෝමලතා සුභසිංහ නාට්‍ය ශිල්පිනියගේ සුවිශේෂී වන්නේ ලෝකය හා ජාත්‍යන්තර මාධ්‍ය , විශ්ව සාහිත්‍ය හරිහැටි දැන පිරිසිදු නුවනින් කලා නිර්මාණ කළ නිසාවෙනි.

එංගලන්තය සහ ප්‍රංශය වැනි දේශයන්හි ළමා නාට්‍ය පරිචය ලැබූ ඇය යුනිසෙෆ් ආයතනය මගින් එම රටවල් මෙන්ම චෙකොස්ලොවැකියාව වන් රටවල පැවැත්වූ පුහුණු වීම් හා අත්දැකීම් ලැබීම ඇගේ නාට්‍ය සහ කලා ජීවිතයට විශාල ආලෝක ධාරාවක් විය.

සෝමලතා සුබසිංහ වැනි පරිණත නාට්‍යවේදිනියක්, විචාරශීලී පරිණත ගැහැනියක්, දෛවයට අවනතව හෝ අප මව්බිමට, අප මතු පරම්පරාවට ඉතිරි කරන හිඩැස සපුරන්නට ඇය ජීවත් වූ වසර හැත්තෑ නවයට තබා සියවස් ගණනාවකටවත් හැකි වේද?