ටෝනි දිවි රඟ මඬලෙන් නික්මෙයි

tony ranasinha Image copyright face book

ප්‍රවීණ සිනමාවේදී ටෝනි රණසිංහ සිය දිවි මගේ හැත්තෑ හත් වෙනි ඉසව්ව පසු කරමින් සිටියදී ජීවිතයෙන් සමුගන්නේ රසික සමුහයාගේ සිත් සසල කරවමින් බව කියා සිටීම අතිශෝක්තියක් නොවේ.

ධර්මසිරි වික්‍රමරත්න ගේ ‘රන් තෝඩු‘ වේදිකා නාට්‍යයෙන් රංගනයට එක්වූ ටෝනි රණසිංහ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ “‘ගම්පෙරළිය” තුළින් සිනමාවට පිවිසුණේය.

සිනමාව, වේදිකාව මෙන්ම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තම රංගනයෙන් ප්‍රභාවිත කළ ටෝනි රණසිංහ සරසවි, ජනාධිපති සහ ස්වර්ණ සංඛ සම්මාන වලින් අවස්ථා ගණනකදීම පිදුම් ලැබීය.

හන්තානේ කතාව, දුහුල් මලක්, ගඟ අද්දර, රන්සළු, කලියුගය, අවරගිර, බද්දේගම, දෙලොවක් අතර, අහසින් පොළවට වැනි චිත‍්‍රපට රැසක ඔහු දැක්වූ රංගන දායකත්වයට ඉහළ ප්‍රේක්ෂක ප්‍රසාදයක් හිමි විය.

අපේ කට්ටිය නාට්‍ය කණ්ඩායමේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වූ ටෝනි රණසිංහ ගේ බෝඩිම්කාරයෝ, තට්ටු ගෙවල්, නිල් කටරොළු මල්, හරිම බඩු හයක්, විරූප රූප යන වේදිකා නාට්‍යවලටද සිය රංගන දායකත්වය ලබාදුන්නේය.

විලියම් ශේක්ස්පියර් ගේ මැක්බත්, වැනිසියේ වෙළෙන්දා ,සහ ජුලියස් සීසර් ආදී නාට්‍ය පිටපත් රචනයෙන් සිංහල වේදිකා නාට්‍යයේ නිම්වළලු පුළුල් කිරීමට ටෝනි රණසිංහ දායක විය.