මකර දූපතේ සටන

කොමොඩෝ මකරුන් ලෝක අවධානය දිනා සිටින්නේ දශක ගණනක සිටයි.

ඉතා තියුණු දත් සේම උග්‍ර විෂ ඇති මිහිපිට සිටින විශාලතම මේ කටුස්සාගේ නිවහන වී තිබෙන්නේ ලෝකයේ කොනක ඇති ඉතා කුඩා තැනක්. ඔවුන් දැකගන්නට සංචාරකයන් රොද බඳිනවා සේම මේ ජීවින් පාදක කොට නිමවුණු භීතිය දනවන චිත්‍රපට ගණනාවක්ද තිබෙනවා. ප්‍රදේශයේ ජීවත්වෙන ජනයාගේ විශ්වාසය වී තිබෙන්නේ භෞතිකවත්, ආත්මීයවත් තමන් හා මේ සතුන් අතර සබඳතාවක් ඇති බවයි.

නමුත් මේ මිනිස් - කටුසු නෑකම වෙනස්වීමට නියමිත වගක් පෙනෙන්නට තිබෙනවා.

Pink Beach, Komodo National Park, Indonesia. Getty Images
Komodo Dragon walking at the beach on Komodo Island. Getty Images

කොමොඩෝ දූපත නැවතත් මකරුන්ට ම පවරන්නට ඉන්දුනීසියාවේ එම ප්‍රදේශය භාර බලධාරීන්ට අවශ්‍යයි. පුළුල් වශයෙන් එහි පවතින සංචාරක කර්මාන්තය වසා දමන්නටත්, පරම්පරා ගණනාවක් මේ කටුස්සන් සමග දිවි ගෙවූ ජනතාව ඉන් පිටමං කිරීමටත් ඔවුන්ට අවශ්‍යවී තිබෙනවා.

"මේකට කියන්නේ කොමොඩෝ දූපත කියලයි, එහෙමනම් ඒක අයිති කොමොඩෝලට .. මිනිසුන්ට නෙවෙයි" එසේ පවසන්නේ පළාතේ ආණ්ඩුකාර වික්ටර් බුන්ග්ටිලු ලයිස්කොඩට්.

ලයිස්කොඩට් ගේ ඉල්ලීම වී තිබෙන්නේ, යුනෙස්කෝ ලෝක උරුමයක් වන එම බිම 2020 දී වසරක කාලයකට වසාදමා අනතුරුව සාපේක්ෂ වශයෙන් ධනවත් අමුත්තන් සුළු පිරිසකට වෙන්වූ සුවිශේෂ ස්ථානයක් කිරීමයි. ඒ වගේම, දුපත්වාසීන් සදහටම ඉන් ඉවත් කිරීමටත් ඔහුට අවශ්‍යයි.

ආණ්ඩුකාරවරයාගේ යෝජනාව ජාකර්තා පාලනය විසින් මේ වනවිට සළකා බලමින් සිටිනවා.

20 වන සියවස මුල්භාගයේදී පළමුව යුරෝපීය ගවේෂකයන් හමුවූ අවස්ථාවට වඩා සැබවින්ම විශාල වශයෙන් දැන් මේ මකරුන්ට අමුත්තන් මුණගැසෙනවා නොඅනුමානයි.

මේ ස්ථානයට අප ගිය දවසේ, මහල් ගණනාවකින් සැදුනු යාත්‍රාවක් ලොහ් ලියෑං බොක්කේ නැංගුරම් ලා තිබුණා.

වන රොද ඇතුළේදී පිරිස කළමනාකරණය කරන්නට අවශ්‍ය වුණා. ආසන්නයේ ඇති දියපහර අසළ කල්මරණ කොමොඩෝ මකරුන් පස්දෙනෙකු දැකබලාගැනීමට එක් කණ්ඩායමකට දී තිබුණේ විනාඩි පහක කාලයක්. ඊළඟට තවත් කණ්ඩායමකට ඊට ඉඩ සලසනවා.

තුර්කියෙන් ආ නෙර්මින් අටමාන් සිටියේ ප්‍රීතියෙන් කුල්මත් වෙලා. "එයාලා විශ්වාස කරන්න බැරි තරමට ලස්සනයි. නමුත් බියකරුයි" ඇය කියා කියා සිටියා. "මකරුන් ඉන්නවා කියල මම විශ්වාස කළේ නැහැ. ඒත් ඒක ඇත්තක්!"

අතිශය දැකුම්කළු මේ පළාත, සංචාරක ගමනාන්තයක් වශයෙන් පුළුල්ව ප්‍රවර්ධනය කරන්නට ජාකර්තා පාලනය පියවර අරන්. යටිතල පහසුකම් ගොඩනගන්නේ ඉහළ යන සංචාරකයින්ගේ පැමිණීමට රුකුල් දීමක් හැටියටයි. ජාතික උද්‍යානයේ ප්‍රවේශ ද්වාරය වන ලබුවාන් බාජෝ වෙත ආයෝජකයන් වගේම හෝටල් ද රොක් වෙමින් තිබෙනවා.

කොමොඩෝ ජාතික උද්‍යාන, දුපත් සමූහයේ දුගී ම කලාපයක පිහිටා තිබෙන අතර එම තත්ත්වය වෙනස් කිරීමට සංචාරකයන්ගෙන් ඉපැයෙන මුදලට හැකියාවක් තිබෙනවා.

Tourist cruise ship, Komodo National Park, Indonesia. BBC
People disembark a cruise ship, Komodo National Park, Indonesia. BBC
Tourist cruise ship, Komodo National Park, Indonesia. BBC
People disembark a cruise ship, Komodo National Park, Indonesia. BBC

"යම් උනන්දුවක් තිබෙනවා. ගොඩක් අය මෙහෙ ඇදෙන්නේ රස්සාවල් වගේම වෙනත් අවස්ථා සොයාගෙනයි. ඒක නොදියුණු ප්‍රදේශයක්. ඒත් දැන් එහෙ සීමාවක් නැතිව අවස්ථා ඇති බවක් පෙනෙනවා." සංචාරක මග පෙන්වන්නෙක් වන තිස්ස සෙප්ටියානි ඉන්ද්‍රා කීවේ එලෙසයි.

නමුත්, මේ පවතින තත්ත්වය ඇදෙන දිශාව ගැන ආණ්ඩුකාරවරයාගේ සිත් ගෙන නැහැ.

"කොමොඩෝ ආරක්ෂා වෙන්නේ නැහැ" ලයිස්කොඩට් පවසනවා.

"විශාල පිරිසක් ඇදෙනවා. ඔවුන් ගෙවන මුදල කිසිම වැදගම්මක් නැහැ. ඒ කියන්නේ ඕනෑම කෙනෙකුට ඇතුළුවෙන්න පුළුවන්" ඔහු කියා සිටිනවා.

ඔහුගේ අරමුණ මේ වෙනුවෙන් වැඩි මුදලක් අය කරන්නටයි.

"මිනිස්සු සාමාජිකත්වයක් ලබාගෙන වසරකට ඩොලර් 1,000ක (පවුම් 790) ඇතුළුවීමේ ගාස්තුවක් ගෙවන්න ඕනෑ. මං හිතන්නේ ඒක ලාබයි. ඉතිං, අපි 50,000 ට ඇතුළුවෙන්න ඉඩ දුන්නොත් අවුරුද්දකට ඩොලර් මිලියන 50ක් (පවුම් මිලියන 40) ලැබෙනවා!"

දශක ගණනාවක් මේ දුපත්වල කොමොඩෝ ගැන අධ්‍යයනය කළ ඔස්ට්‍රේලියානු විද්වතෙකු වන ආචාර්ය ටීම් ජෙසොප් පවසන ආකාරයට සංචාරක කර්මාන්තයෙන් ලැබී තිබෙන්නේ "මිශ්‍ර ආශිර්වාදයක්".

එහා මෙහා යන බෝට්ටු ප්‍රමාණය ඉහළ යාමත්, ඒවායින් විසි කෙරෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසාත් සමුද්‍රීය ජීවිතයට බලපෑමක් එල්ලවෙන බව ඔහු පවසනවා.

පාලනය කරන්නට අසීරු තත්ත්වයකට එනතෙක් නොසිට, සංචාරක කර්මාන්තය සඳහා මනා වූ නියාමනයක් ඇති කරන්නට යැයි ඔහු කියා සිටින්නේ කාලයක සිටයි. මේ සඳහා යහපත උදාහරණයක් ලෙස ඔහුඉදිරිපත් කරන්නේ පැමිණෙන අමුත්තන්ගේ ප්‍රමාණය සීමාවකට යටත් කර ඇති ගැලපගොස් දිවයිනයි.

නමුත්, ජෙසොප් පෙන්වා දෙන ආකාරයට සංචාරකයන් නිසා කොමොඩෝ සිටින කලාපයට එල්ලවන බලපෑම සීමිතයි.

"ප්‍රධාන ප්‍රදේශය තුළ සංචාරකයන් ඇවිද යන්නේ කලාප දෙකක තිබෙන පහත බිම් ප්‍රදේශයේ. ඒක මුළු ජාතික වනෝද්‍යානයෙන් 3 - 4% ක පමණ ප්‍රදේශයක්. සංචාරකයන්ගෙන් 90% ම යන්නේ ඒ පැත්තට."

කොමොඩෝ මකරුන්ගෙන් වැඩි ප්‍රමාණය වෙසෙන්නේ ඔවුන්ගේ නමින් ම ඇති කොමොඩෝ දුපතේ. නමුත් කොමොඩෝ ජාතික වනෝද්‍යානය තුළ දුපත් 20 ට වැඩි ගණනක් තිබෙනවා. ඉන් පසු සැලකිය යුතු ප්‍රමාණයක කොමොඩෝ මකරුන් වෙසෙන්නේ රින්කා දුපතේ.

2002 වසරේ සිටම ජාතික වනෝද්‍යානය සමග එක්ව, ජෙසොප් කොමොඩෝ ගහණය නිරීක්ෂණයේ යෙදුණා.

කොමොඩෝ ගේ ප්‍රධානම ගොදුර වන මුවන් තර්ජනයට ලක්ව ඇති බවට වූ ආණ්ඩුකාරවරයාගේ සිතිවිල්ල තහවුරු වී නැති බවක් ඔහු පවසනවා.

"වනෝද්‍යානය ඉතා විශාල වූවක්, ඇතැම් තැන් සුරක්ෂිත වගේම වෙනත් තැනක් එසේ නොවන්නට පුළුවන් බවට වනෝද්‍යාන ආරක්ෂකයන් කියන දේ ඇත්තක්. නමුත් කොමොඩෝ මකරුන්ට දැනෙන ආකාරයේ බලපෑමක් එල්ල කරමින් දිගින් දිගටම මුවන් දඩයම් කරන බවක් පෙනෙන්නට නැහැ."

ඒ කාරණය සමග එකඟ වෙමින් වනෝද්‍යාන ආරක්ෂක ස්ටෙෆාන් ජලක් පවසන්නේ මුවන් ඉතා හොඳින් සුරැකී තිබෙන බවයි.

"මුවන් දඩයම අඩුවෙලා, ඒ වගේම ප්‍රජාව දැන් තේරුම් අරන් තිබෙනවා." කී ඔහු, "නමුත් ඒක නවත්තන්න සමහර වෙලාවට පොලිසියත්, හමුදාවත් එක්ක අපි වැඩ කරනවා."

Komodo Dragon circling his prey, a deer, on the beach of the nature reserve, Komodo National Park, Indonesia. Getty Images

කාලයකදී වෙරළේ කුඩා සෙවිලි මඩු පෙළක් වූ කොමොඩෝ ගම්මානය අද වන විට මිනිසුන් 2,000 ක් පමණ දෙනාට නිවහන වෙලා.

මෙහි තානායම් ඉදිවෙලා, රාත්‍රී කාලයට ජනක යන්ත්‍රවලින් සැපයෙන විදුලියෙන් එළිය කෙරෙනවා. ඒ වගේම, මාවතේ අලෙවි කුටිවලින් එන ප්ලාස්ටික් අපද්‍රව්‍ය වෙරළේ කසල ලෙස රැඳිලා.

කොමොඩෝ දුපතේ වෙසෙන ප්‍රජාවෙන් 70% පමණ යැපෙන්නේ සංචාරක කර්මාන්තයෙන්.

සමරු භාණ්ඩ අලෙවි ස්ථානයේ වෙළෙඳ කුටියක් පවත්වාගෙන යන නූර් පවසන්නේ අනාගතයේ විය හැකි දේ ගැන තමන් සැබෑ කණස්සල්ලකින් සිටින බවයි. 

දඩයමින් ගෙවුණු කළින් ජීවන රටාවට ඇතුළුවෙන්න ගම්මුන්ට හැකියාවක් නැති බව ඇය පවසනවා.

"තවදුරටත් අප ළඟ ධීවර බෝට්ටු නැහැ. අපිට දඩයමේ යන්න බැහැ. ඒ වගේම අපේ කියල බිමක් නැහැ."

ගම්මුන්ට නැවතත් ඒ ජීවන රටාවට යන්න බල කෙරුණොත්, එය පරිසරයට නරකක් එක් කෙරෙන බව මග පෙන්වන්නෙකු වන අබ්දුල් ගෆුර් කාසිම් ගේ අදහසයි.

"ආපහු මුහුදට යන්න ගම්මුන්ට බල කළොත්, මාළු අල්ලන්න ඔවුන් නැවතත් බෝම්බ පාවිච්චි කිරීම වගේ දරන්නට බැරි ක්‍රමවලට යොමුවේවි. ඒකෙන් වනෝද්‍යානයේ සමුද්‍රීය ජීවිතය විනාශ වේවි. එහෙමත් නැතිනම්, ඒගොල්ලෝ කැලේට ගිහින් නීති විරෝධී දැව කැපීමේ යෙදේවි."

Village on Komodo National Park, Indonesia. BBC
Village on Komodo National Park, Indonesia. Getty Images
Village on Komodo National Park, Indonesia. BBC

ආණ්ඩුකාරවරයාගේ සැලසුමෙන් දුපත්වාසින් භීතියට පත්වෙලා.

"අපිට මෙහෙන් යන්න ඕන නැහැ. අපි කොමොඩෝලගේ හැසිරීමට බාධා කරන්නේ නැහැ." 17 වන වයසේ පසුවෙන රෝසා සෆිරා එසේ පවසනවා.

"කොමොඩෝ එක්ක මිනිස්සු මෙහෙ ජීවත්වෙන්නේ සහජීවනයෙන්. කොමොඩෝ ආරක්ෂා කරගන්න, අපට පුළුවන් ආණ්ඩුකාරවරයාත් එක්ක වැඩ කරන්න. අපව මෙහෙන් ඉවත් කරන්න ඕන නැහැ."

දුපත්වාසීන් තර්ජනයක් නොවන බවට පර්යේෂක ජෙසොප් ද එකඟයි.

"ගෙවුණු අවුරුදු ගණන පුරා කොමොඩෝ ජාතික වනෝද්‍යානය ඇතුළේ කිලෝමීටර දහස් ගණනක් මා ඇවිද ගියා. මේ භූමිය තුළ අවුරුදු ගණනක් මා ගතකර තිබෙනවා. මිනිස්සු ගස් කපනවා ඔබට පෙනෙන්නට නැහැ. දඩයම් කරමින් ගිනි දල්වමින් හෝ සිටිනවා දකින්නට නැහැ. මට හිතෙන්නේ තමන්ගේ පරිසරයට ඔවුන් තුළ සාධාරණ ගරුත්වයක් තිබෙනවා."

Rosa Saphira, looks out of a window at her home in Komodo village, Komodo Island, Indonesia. BBC

කොමොඩෝ දුපත් වැසියන් පවසන ආකාරයට මකරුන් කෙරෙහි ඔවුන් තුළ ඇති ගෞරවය සවි ගැන්වී තිබෙන්නේ පුරාණ මිථ්‍යාවකින්.

ගම්මානයේ වැඩිහිටියා - හාජි අමින්, අනෙක් බොහෝ ඉන්දුනීසියානුවන් වගේම භක්තිමත් මුස්ලිම්වරයෙක්. මක්කම වන්දනාවේ ද යෙදී තිබෙනවා. ඔහු අවධාරණය කරන්නේ කොමොඩෝ සමග ඇති සම්බන්ධය විශ්වාසය මත පදනම් වුවක් නොවෙයි. ඒක ඉතිහාස කතාවක්.  

කොමොඩෝ දුපත්වාසීන්ගේ විශ්වාසයට අනුව, දුපතේ හුන් කුමාරිකාවක් නිවුන් දරුවන්ට උපත දුන්නා. එක් දරුවෙක් මනුස්සයෙක් වෙද්දී, අනෙක් දරුවා කොමොඩෝ මකරෙක්.

"වයසින් වැඩෙනකොට කොමොඩෝ පුතාට ඕනෑ වුණේ අමු මස් පමණක් ආහාරයට ගන්නයි" හාජි අමින් පවසනවා.

"ඉතින් ඔහු අසල්වැසියන්ගේ කුකුලන් එළවා ගිහින් ආහාරයට ගන්නවා. මේකෙන් වුණේ මිනිස්සු කෝප වීමයි. අවසානයේදී ඔහු කැලේට ගිහින් ජීවත් වුණත්, තමන්ගේ අම්මාත්, සහෝදරයාත් බලන්න නිතරම ආපහු ගමට ආවා."

Komodo villagers gathering on wharf on arrival of ferry from neighboring island. Getty Images

ඒ වගේ සබඳතාවක් ගැන සිතන දුපත්වාසීන් - සපා කෑමකදී පැය කිහිපයක් ඇතුළත මරණය ළඟා කරන තරමට විෂ සහිත වුණත්, මීටර 3ක් (අඩි 10) තරම් දිගට වැඩුනත්, මේ කටුස්සන්ට බියක් පළකරන්නේ නැහැ.

හාජිගේ බිරිඳ වන ඉන්දර් වති, මුහුදු බොක්කේ ලී කරු මත තැනුණු දැවමය නිවහන පසුපසින් ඇති වන රොදට තමන්ගේ දරුවන් හෝ මුණුපුරන් දිව යාම ගැන කණස්සල්ලක් නැහැ.

"මකරුන් ගැන කණස්සලු වෙන්න දෙයක් මට නැහැ. මගේ එකම බය දරුවෝ මුහුදේ පිහිනන්න යන එකයි - ඔවුන් ගිලෙන්න පුළුවන්" ඇය පවසනවා.

කොමොඩෝ ජාතික වනෝද්‍යානය තුළ කොමොඩෝ මකරුන්ගේ පහරදීමකින් වූ මරණ හෝ බරපතල තුවාලවීම් ගැන නිල වාර්තා නැතත්, ගෙවුණු දස අවුරුද්ද තුළ පහරදීම් 15 ගැන පමණක් දන්නා බව බලධාරීන් පවසනවා. ඉන් එකක් මිය යාමක්.

Two Komodo dragon fight with each other. Getty Images

ආණ්ඩුකාරවරයාගේ අදහස නම් කොමොඩෝ ඕනෑවටත් වඩා හීලෑ වී ඇති බවයි. කොමොඩෝ දූපත පරිවර්තනය කරන්නේ කෙසේදැයි යන්න ගැන පැහැදිලි දැක්මක් තමන් සතු බව ඔහු පවසනවා. 

"මිනිස්සු මෙහෙ එනකොට කියන්නේ'අපුරුයි මේක වනගත තැනක්!'" ලයිස්කොඩට් පවසනවා.

"අපි වන කොමොඩෝලා හදන්න යනවා. දැන් ඉන්නවා වගේ හීලෑ වුන් නෙවෙයි. මිනිස්සුන්ට ඇවිත් තමන්ගේ ස්වභාවික වාසස්ථානයක ඉන්න දරුණු කොමොඩෝ දකින්නට ලැබේවි." යැයි ඔහු පෙන්වා දෙනවා.

කොමොඩෝ ඇත්තෙන්ම හීලෑ වූවන් නොවෙයි. නමුත් වනෝද්‍යාන ආරක්ෂකයින්ගේ මුළුතැන්ගේ පුරා කැරකෙමින් ඉන්නවා දකින්න පුළුවන්.

වෙනසක් පිළිබඳ ඔහු නගන තර්කය සුරැකෙන තත්ත්වයක් මතුවුණේ, පළමු වරට, කොමොඩෝ සොරාගෙන යාමේ ජාවාරමක් මෑතදී අනාවරණය කර ගැනීමත් සමගයි.

ඉන්දුනීසියානු පොලිසිය පවසන ආකාරයට ජාත්‍යන්තර සම්බන්ධතා ඇති ප්‍රදේශයේ පිරිසක් පසුගිය මාර්තු මාසයේ දී අත්අඩංගුවට ගැනීමට කළින්, කොමොඩෝ පැටවුන් 45 දෙනෙකු හොර රහසේ රටින් පිටකර තිබෙනවා.

ඇත්තෙන්ම, මේ ගැන කෙරුණු ඩීඑන්ඒ පරීක්ෂණවලදී හෙළිවුණේ ඒ පැටවුන් කොමොඩෝ දුපතෙන් නොව ෆ්ලොරෙස් දුපතේ සිටියවුන් බවයි.

නමුත්, මෑත අවුරුදු කිහිපය තුළ වැටලීම් සමහරක් සාර්ථකව ක්‍රියාත්මක කරන්නට ඉන්දුනීසියාවේ සොරාගෙන යාම්වලට එරෙහි කාර්ය සාධක බලකායන් සමත් වුණත් සිය රටට ආවේණික වනජීවින් වෙළෙඳාම නතර කිරීමේ අරගලයක තවමත් යෙදිලා. සතුන් වෙළෙඳාම් කෙරෙන ස්ථානවල, ආරක්‍ෂිත සත්ත්ව විශේෂ විවෘතව අලෙවි කරන ආකාරය රටපුරා නගරවල දකින්නට පුළුවන්.

මුදාගත් කොමොඩෝ පැටවුන් හතරදෙනා ජාවා දුපතේ සුරබයා ප්‍රදේශයේ ඇති වනජීවී සුරැකුම් ස්ථානයක රඳවලා තිබෙන්නේ එවැනිම ඉරණමකට මුහුණ දුන් දුර්ලභ සතුන් බහාලූ කුඩා කූඩු සමගයි.

A rescued baby Komodo in a wildlife holding pen in Surabaya on the island of Java. BBC

"කොමොඩෝ දුපතේ පාලනය මගේ අතේ ඇති විට, මකරුන් සොරාගෙන යාමටවත්, ඊට උත්සාහ කරන්නටවත් කවුරුවත් නිර්භීත වෙන එකක්නැහැ." ලයිස්කොඩට් පවසනවා.

ලයිස්කොඩට් තමන්ගේ මාර්ගය පාදා ගනීවිදැයි පැහැදිලි නැහැ.

කොමොඩෝ ජාතික වනෝද්‍යානය මේ වනවිට කළමනාකරණය කරන්නේ කිලෝමීටර 1,416ක් (සැතපුම් 900) එපිටින් ජාකර්තාවේ ඇති ඉන්දුනීසියාවේ පරිසර හා වනවිද්‍යා අමාත්‍යාංශයයි.

නමුත් ඉන්දුනීසියාවේ ප්‍රාදේශීය ස්වයංපාලන නීතිවලට අනුව පළාත්වල නායකයින් එන්න එන්නම බලවත්.

ලයිස්කොඩට් අවධාරණයෙන් කියන්නේ තමන් ගෙන එන තහනම සමග ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ ද එක්ව සිටින බවයි. ඔහු මෑතකදී කළ ප්‍රකාශයකින් ද එය කියැවෙන බවත් ආණ්ඩුකාරයා පවසනවා.  

"කොමොඩෝ"දූපත සැබෑවටම සංරක්ෂිත කලාපයක් බවට පත් කරන්න අපට අවශ්‍යයි." මේ මාසය මුලදී ප්‍රකාශයක් නිකුත් කරමින් විඩෝඩෝ කියා සිටියා. "සංචාරකයන්ගේ ප්‍රමාණය බොහෝදුරට කෝටාවක් සමග සීමා වේවි. ඒවගේම ඇතුළුවීමේ ගාස්තුව ඉහළ යාවි."

නමුත් ඔහු අවධාරණය කළේ ඒ පිළිබඳ ඕනෑම සැලසුමක් "මනාව සැකසුනු එකක් වෙන්නට ඕනෑ, ඒක එහෙන්, මෙහෙන් කළ දෙයක් වෙන්න බැහැ. ඒක හරි විදිහට කෙරෙන්න, සැලකිය යුතු මුදලක් ආයෝජනය කරන්න අපි ලැහැස්තියි."

පරිසර අමාත්‍යාංශය පවසන්නේ මේ පිළිබඳ සමාලෝචනයක් කෙරෙන බවයි. සති කිහිපයක් යන තෙක් ඒ ගැන අවසන් තීරණයකට එළඹෙන්නේ නැති බවද එය පවසනවා.

Villages at the wharf on Komodo Island. BBC

"2020දී මේක වහනවා කියල ඔහේ නිකමට කියන්න බැහැ. එහෙම කෙරෙන්නේ මොන පදනමින් ද?" අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන විරන්තෝ ප්‍රශ්න කරනවා.

"ඒ නිසයි මිනිස්සු බොහෝ දෙනෙක් ප්‍රශ්න අහන්නේ. නීතියට අනුව ඒක වසා දමනවානම් ඒ ගැන අවසන් තීරණය ගන්නේ ඇමතිවරයායි. ආණ්ඩුකාරවරයාගේ අදහස් නිර්මාණශීලී වගේම බොහොම සාධනීයයි. නමුත් ජාකර්තාවේ ඉන්න නායකයින් සමග වාඩිවෙලා සාකච්ඡා කරන්න අවශ්‍යයි." ඔහු පවසනවා.

ආණ්ඩුකාරවරයා පවසන්නේ, තමන්ගේ සැලසුම ඉදිරියට යනවානම්, ගම්මුන්ට අනෙකුත් දුපත්වල අලුත් නිවාස ඉදිකරන බවයි.

නමුත්, ඊට සටනක් දෙන්න ගම්මුන් ගිවිසගෙන තිබෙනවා.

"අපි මෙහෙන් යනවානම්, අපිත් එක්ක කොමොඩෝත් ඒවි" ගම්වැසි කාන්තාවකවන ඉන්දර් පවසනවා.

ඊටම එකතුවුණු ඇගේ සැමියා, හාජි පවසන්නේ, "මෙහෙන් යනවාට වඩා මැරෙන එක හොඳයි. මේක අපේ මුතුන් මිත්තන්ගේ බිම" බවයි.

1970 ගණන්වලදී ගම්මුන්ව ඉවත් කරන්නට ආණ්ඩුව උත්සාහ දැරූ අවස්ථාවේදී කොමොඩෝ මකරුන්ද මුහුදට පැන පීනා තමන් සමග යාමට පටන් ගත් බව ඔහු පවසනවා. 

"අපෙත්, කොමොඩෝ මකරුන්ගේත් සම්බන්ධය ඒ තරමට තදයි. මෙහෙ ම රැඳෙන්න අපි සටන් කරනවා!"


දායකත්වය

ලේඛකයෝ: රෙබෙකා හෙන්ස්කි සහ කලිස්ටාසියා විජයා

ඡායාරූප/gif: ගෙටී ඉමේජස්, හර්යෝ විරවාන්/ බීබීසී, බීබීසී අර්ත්

ග්‍රැෆික්: අර්වින් සුප්‍රියාදී සහ ඩවීස් සුර්යා, මයික්‍රොසොෆ්ට්

ඡායාරූප සංස්කාරක හා නිෂ්පාදක: එමා ලින්ච්

සංස්කාරක: සේරා බක්ලී