ජනපති නිල කාලය දිගු කිරීමට ජනතා විරෝධය

Image copyright AP

ජනපති නිල කාලය දිගු කිරීමට එරෙහිව විරෝධතාවාදීන් කණ්ඩායමක් බුර්කිනා පාසෝ පාර්ලිමේන්තුවට කඩා වදිති.

ජනාධිපති බ්ලේස් කොම්පරෝරෙ (Blaise Compaore) සිය විසිහත් අවුරුදු පාලනය තවත් දීර්ඝ කර ගනු ලැබීමට ගන්නා උත්සාහය සමඟ කෝපයට පත් විරෝධතාවාදීන් කණ්ඩායමකුයි එම පියවර ගෙන තිබෙන්නේ.

ඔවුන් පාර්ලිමේන්තු මන්දිරයට ගිනි තබා ඇති අතර ධුමාරයක් පැතිර යමින් තිබෙනු දක්නට ලැබුණි.

ඒ අතරවාරයේ තවත් විරෝධතාවාදීන් කණ්ඩායම් වගඩුගු (Ouagadougou) අගනුවර නගර ශාලාවට සහ ආණ්ඩු පක්ෂයේ මූලස්ථානයට ද ගිනි තබන ලදී.

විරෝධතාවාදීන් කඩා වැදීමත් සමඟ රාජ්‍ය රූපවාහිනියේ වැඩ සටහන් කෙටි වෙලාවකට නතර වූ බවට වාර්තා විය.

මහජනතාව ජනාධිපති මන්දිරය දෙසට ගමන් ගනිද්දී හමුදා භටයන් සහ හිටපු ආරක්ෂක ඇමතිවරයා ද ඔවුන්ට එක්ව සිටි අතර ඒ අවට වෙඩි හඬ ඇසුන බවයි, ‘බුර්කිනා පාසෝ’ වාර්තා මගින් පැවසෙන්නේ.

Image copyright
Image caption ජනාධිපති බ්ලේස් කොම්පරෝරෙ

ලබන වසරේ පදවියෙන් ඉවත් විය යුතු ජනාධිපති බ්ලේස් කොම්පරෝරෙ ට (Blaise Compaore) , ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී යළිත් තරඟ කළ හැකි මට්ටමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමයි ආණ්ඩුවේ සැලැස්ම වුනේ.

එහෙත් අදාළ පනත් කෙටුම්පත ඉවත් කර ගන්නා බව රජය පසුව නිවේදනය කළේය.

විරෝධතාවාදීන් ඇතැම් මන්ත්‍රීවරුන්ගේ සහ ජනාධිපතිවරයාගේ සහෝදරයාගේ නිවසට ද ගිනි තබා තිබිණ.