ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මහාචාර්ය මයිකල් ප්‍රනාන්දු

පෙර අපර දෙ දිග නාට්‍ය කලා විශාරද මහාචාර්ය මයිකල් ප්‍රනාන්දු අත ඇති පොත විශිෂ්ට ඉතිහාසඥ මහාචාර්ය රණවීර ලෙස්‌ලි ගුණවර්ධන ශ්‍රී ලංකා ඉතිහාසයේ යුග නිර්ණය පිළිබඳව රාජ්‍යය ගොඩ නැගීම කෙරෙහි විශේෂ අවධාරණයක් සහිතව නිරීක්ෂණය කරමින් ලියූ Periodization in Sri Lankan history : some reflections with special emphasis on the development of the state.

කුරුණෑගල ක්‍රිස්තුරාජ විද්‍යාලයෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශය දක්වා උගෙන පේරාදෙණිය සරසවියට පිවිසි මයිකල් ප්‍රනාන්දු ආර්ථික විද්‍යාව, ඉතිහාසය හා සිංහල හදාරා සිංහල විශේෂ වේදී උපාධිය සමත් වී. එම විශ්ව විද්‍යාලයේම සිංහල අංශයේ සහාය කථිකාචාර්ය වරයකු ලෙස පත්වීමක් ලද ඔහු පශ්චාත් උපාධි අධ්‍යාපනය ලද්දේ ජර්මනියේ බර්ලින් නුවර හුම්බෝල්ඩ්ට් සරසවියේ. දුරස්ථ කරන රීතිය රංගනයට හඳුන්වා දුන් විශ්ව කීර්තිධර මහා නාට්‍ය වේදී බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ගේ නිර්මාණ ලාංකීය වේදිකාවට බල පෑ අයුරු විමසමින් කළ The Sinhala stage and Bertolt Brecht කෘතියයි මහාචාර්ය මයිකල් ප්‍රනාන්දු ගේ ආචාර්ය උපාධි නිබන්ධනය. ජර්මනියේ බ්‍රෙෂ්ට් කේන්ද්‍රයයි එය 1982 දී මුද්‍රණ ද්වාරයෙන් එළි දැක්වූයේ. පෙරලා ලංකාවට පැමිණ පේරාදෙණි සරසවියේ ලලිත කලා පාඨමාලාව භාර ගත් මහාචාර්ය ප්‍රනාන්දු, තමන් පුරෝගාමී වී පිහිටැවූ ලලිත කලා අංශයේ ආරම්භක පීඨාධිපති වී. ප්‍රංශ නාට්‍ය වේදී ඇනටෝල් ෆ්රාන්ස් ගේ The Tragedy of a man who married a dumb wife ගොළු කතගේ සැමියා නමින් මයිකල් ප්‍රනාන්දු විසින් රංග ගත කැරුණු පසුදා ම එහි ප්‍රධාන නළුවා වේදිකාව හැර ගියේ 1971 කැරැල්ලට එක් වීමට. ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති ධූරය මෙන්ම ව්‍යවස්ථා සම්පාදක හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය යටතේ තිබු ජාතික ඒකාබද්ධතා වැඩසටහන් ඒකකයේ ප්‍රධානිත්වය ද ඉසිලූ මයිකල් ප්‍රනාන්දු අද ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යංශයේ විශේෂඥ මණ්ඩල සාමාජිකයෙක්. වාමාංශික දේශපාලන ක්‍රියාකාරිත්වයේද නියැලි මහාචාර්ය මයිකල් ප්‍රනාන්දු සිංහල, පාලි, ඉංග්‍රීසි හා ජර්මන් බසේ නිපුණයෙක්.

ඉංග්‍රීසි සිංහල දෙබසින්ම සිය ශාස්‌ත්‍රීය ගවේෂණ ලොව හමුවේ තැබූ රණවීර අප්පුහාමිල්ලාගේ ලෙස්‌ලි හර්බර්ට්‌ ගුණවර්ධන පේරාදෙණි සරසවියට පිවිසියේ තෝලන්ගමුව මධ්‍ය මහා විද්‍යාලයෙන්. ඉතිහාසය සඳහා ප්‍රථම පන්ති ගෞරව සාමාර්ථයක්‌ ලැබ විශ්ව විද්‍යාල ආචාර්ය මණ්‌ඩලයට බඳවා ගනු ලැබු ඔහු, පශ්චාත් උපාධි අධ්‍යයනය සඳහා ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ප්‍රාචීන හා අප්‍රිකානු අධ්‍යයන ශාස්‌ත්‍රාලයේ පර්යේෂණ අධ්‍යයනයන්හි නිරත වී, 'පළමු වැනි සේන සිට මාඝ ආක්‍රමණය තෙක්‌ සංඝ සමාජයේ ඉතිහාසය' මැයෙන් වූ නිබන්ධනය සඳහා 1965 දී ආචාර්ය උපාධියෙන් පුද ලැබී. සිවුර හා නගුල හෙවත් මුල් මධ්‍යකාලීන ශ්‍රී ලංකාවේ විහාරාරාම සහ ආර්ථික අභිලාෂ යනුවෙන් ඉංග්‍රීසියෙන් හා සිංහලෙන් මහාචාර්ය ගුණවර්ධනයන් පළ කළ ග්‍රන්ථය දෙස් විදෙස් සම්භාවනාවට පාත්‍ර වූවක්. 2010 දී දිවියෙන් සමුගත් මහාචාර්ය රණවීර ලෙස්‌ලි ගුණවර්ධන, පුරාණ සිංහල වාරි ශිෂ්ටාචාරය සිංහල රාජ්‍යයේ වර්ධනය හා එකට බැඳුණු අයුරු පිරික්‌සමින් 'වාරි කර්මාන්තය, රාජ්‍යය සහ එහි පරිවර්තනය' ඇතුළු අධ්‍යයන මෙන්ම 'වාරි කර්මාන්තමය තාක්‌ෂණය සමාජ අතර හුවමාරුව' යනුවෙන් ලක්දිව වාරි තාක්‌ෂණය හා ජාත්‍යන්තර සබඳතා ගැනත් අධ්‍යයනය කර ඇත්තෙක්.