පිටුවහලට නියම වූ ශ්‍රී ලාංකිකයන් පිරිසකට සහන

UK Border AGency Image copyright bbc
Image caption දෙමළ ජාතිකයන් ඇතුළු 80 කට ආසන්න ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඊයේ බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කිරීමට නියමිතව තිබිණ

ඊයේ රාත්‍රියේ බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලාංකිකයන්ගෙන් පිරිසක් පිටුවහල් කිරීම ලන්ඩනයේ මහාධිකරණයක් විසින් අවසාන මොහොතේ තහනම් කරන ලද බව චැනල් 4 නාලිකාව පවසයි.

දෙමළ ජාතිකයන් බහුතරයක් ඇතුළු බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ පතන ලද ශ්‍රී ලාංකිකයන් 40 දෙනෙකු මෙසේ පිටුවහල් කිරීම අධිකරණ නියෝගය හේතුවෙන් වලක්වන ලද බවයි බ්‍රිතාන්‍ය රුපවාහිනී නාලිකාව ප්‍රකාශ කරන්නේ.

දේශපාලන රැකවරණ පතා ඉදිරිපත් කරණ ලද ඉල්ලුම්පත්‍ර ප්‍රතික්ෂේප වූ 80 කට ආසන්න ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඊයේ බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කිරීමට නියමිතව තිබූ නමුත්, අද ශ්‍රී ලංකාවට ළඟාවී තිබෙන්නේ 36 දෙනෙකු පමණක් බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

ශ්‍රී ලංකාවට බලහත්කාරයෙන් පිටුවහල් කෙරෙන දේශපාලන රැකවරණ පැතූවන් ශ්‍රී ලංකාවේදී වධ බන්ධනවලට ලක්වන බව පවසමින් හියුමන් රයිට්ස් වොච් (HRW) සංවිධානය ඇතුළු මානව හිමිකම් සංවිධාන මෑතදී ප්‍රකාශයට පත් කළ වාර්තායි, බ්‍රිතාන්‍ය අධිකරණ තීන්දුවට පදනම් වී තිබෙන්නේ.

තමන් විසින් කරන ලද සමීක්ෂණ වලින් හෙළිවී ඇති පරිදි, දේශපාලන රැකවරණ නො ලද ආපසු යවනු ලබන දමිළ ජාතිකයන් අත්තනෝමතික අත් අඩංගුවට ගැනීම් වලට හා වධ හිංසාවන්ට ලක් වන බවයි, HRW සංවිධානයේ චෝදනාව වන්නේ.

ලන්ඩනය මූලස්ථාන කොටගත් ෆ්‍රීඩම් ෆ්‍රොම් ටෝචර් (Freedom from Torture - FfT) මානව හිමිකම් සංවිධානයත් එම මතය අනුමත කර ඇත. එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී කීත් බෙස්ට් බීබීසී දෙමළ සේවයට කියා සිටියේ එදිරිවාදිකම් නතර කිරීමෙන් අනතුරුවත්, ශ්‍රී ලංකාවේ රජය තමන්ගේම පුරවැසියන්ට වධ හිංසා පමුණුවන බවයි.

මෙය අසාමාන්‍ය තීන්දුවක් බව, ශ්‍රී ලාංකික රැදවියන් වෙනුවෙන් එම අභියාචනය ඉදිරිපත් කළ ජ්‍යෙෂ්ට නීතිවේදීන්ගේ මතයයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

සබැඳි අන්තර්ජාල යොමු

වෙනත් අන්තර්ජාල අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ